වියලි කහ ටොන් හතරකට අධික තොගයක් සමඟ සැකකරුවන් 16 ක් නාවික හමුදා අත්අඩංගුවට

නොවැම්බර් 01, 2020

නාවික හමුදාව  පසුගිය දින දෙක තුළ  (ඔක්තෝබර් 30 සහ 31)  වයඹ සහ උතුරු මැද නාවික විධානයන් තුල සිදුකල විශේෂ ‍මෙහෙයුම් මගින් නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කල වියලි කහ කිලෝග්‍රෑම් 4150 කට අධික තොගයක් සමඟ සැකකරුවන් 16ක් අත්අඩංගුවට ගෙන ඇත.

මෙහිදී වයඹ නාවික විධානය මගින්   පුත්තලම එත්තාලෙයි එරඹුගොඩැල්ල වෙරළ තීරයේ සිදු කල මුර සංචාරයක් අතරතුර පුද්ගලයින් කිහිපදෙනෙකුගේ සැක සහිත හැසිරීමක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කිරීමේදී ඔවුන් විසින් නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමට උත්සාහ කල වියලි කහ තොගය  සොයාගත් බව  නාවික හමුදාව  පැවසීය.

එහිදී මළු 65ක අසුරා තිබූ වියලි කහ කිලෝ 2042ක පමණ ප්‍රමාණයක්, සැකකරුවන් 05 දෙනෙක්, ලොරි රථයක් සහ යතුරු පැදියක්ද නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය

එලෙසම පෙරියපාඩු වෙරළ තීරයේ සිදු කල තවත් ව්ශේෂ සෝදිසි මෙහෙයුමකදී ඩිංගි යාත්‍රා 02ක් මගින් මුහුදු මාර්ගයෙන් නීති විරෝධී ලෙස මෙරටට රැගෙනවිත් ලොරි රථයකට පටවමින් තිබූ තවත් වියලි කහ තොගයක් නාවික හමුදා භාරයට ගෙන ඇත.

මෙහිදී සැකකරුවන් විසින් වෙරළ තීරයට යාබදව තිබූ නිවසක් තුල සඟවන ලද තවත් වියලි කහ සහිත මළු  සොයා ගැනීමට සමත් විය. ඒ අනුව එම මෙහෙයුමේදී මළු 45ක අසුරා තිබූ වියලි කහ කිලෝ 1600ක පමණ ප්‍රමාණයක්, සැකකරුවන් 08 දෙනෙක්, ඩිංගි යාත්‍රා 02ක් සහ කැබ් රථයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

තවත් වියළි කහ ජාවාරමක් සොයා ගනිමින් උතුරු මැද නාවික විධානය විසින් කිලෝ 508 ක් පමණ මුහුදේ පාවෙන පාර්සල් අටක් අත්අඩංගුවට ගෙන තිබේ. ජාවාරම   හා සම්බන්ධ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් සොයාගත් නාවික හමුදාව මෙහෙයුම අතරතුර සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

රට තුල කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබා දී ඇති සියළු සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රම වේදයන් අනුගමනය කරමින් මෙහෙයුම් සිදුකල බව නාවික හමුදාව තහවුරු කළේය.

මෙම මෙහෙයුම් මගින් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් වයස අවුරුදු 20 ත් 64 ක් අතර වයසේ පසුවන පුත්තලම, එත්තාලෙයි, කොන්තන්තීව්, මදුරන්කුලිය, පාලවි  හා මන්නාරම යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇත.

අදාල සැකකරුවන්, අත්අඩංගුවට ගන්නා ලද වියලි කහ තොගයන් සහ අනෙකුත් භාණ්ඩ පූර්ණ විෂබීජ හරණයකට ලක් කිරීමෙන් පසු ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය සහ මන්නාරම පොලීසිය වෙත භාර දීමට කටයුතු කළ බව නාවික හමුදාව පැවසුවේය.