සමාජ මාධ්‍ය හරහා ව්‍යාජ තොරතුරු පැතිරවීම වැළැක්වීම සඳහා විශේෂ ඒකකයක් පිහිටුවයි

මැයි 14, 2019

ඊයේ (මැයි 12) රාත්‍රී කාලයේ දී යම් පිරිසක් විසින් කුලියාපිටිය ප්‍රදේශයේ වෙළඳසැල් කිහිපයකට අලාබහානි සිදුකර ඇති අතර එම ක්‍රියාවන් වැලැක්වීම සඳහා එම ප්‍රදේශයට පොලිස් ඇදිරිනීතිය පනවන ලදී. කෙසේ වෙතත්, නැවතත් එම ප්‍රදේශය තුළ අද (මැයි 13) දින ද සුළු සුළු සිද්ධීන් කිහිපයක් වාර්තා වී ඇති අතර එම තත්ත්වය පාලනය කිරීම සඳහා වයඹ පළාතටම නැවත දැනුම්දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන ලදී. මෙම සිදුවීම් වලින් දේපල වලට පමණක් හානිවී ඇති අතර කිසිඳු පුද්ගලයෙකුට තුවාල සිදුවීමක් හෝ වාර්තා වී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ඊයේ (මැයි 13) සවස කොල්ලුපිටිය මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසිය. මෙම අවසතාවට හමුදා මාධ්‍ය ප්‍රකාශක සහ කොල්ලුපිටිය මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතාද සහභාගී විය.

විවිධ ප්‍රදේශවල පොදුජනතාව විසින් මෙවැනි ප්‍රශ්න ඇතිකිරීම තුලින් ත්‍රස්තවාදී ක්‍රියා සම්භන්ධයෙන් අවශ්‍ය පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම වෙනුවෙන් සහ පොදුජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය විසින් සිදුකරනු ලබන විවිධ මෙහෙයුම් වලට බාධා පැමිණේ. පොදු ජනතාව අතර මෙවැනි ප්‍රශ්න ඇතිවීමට සමාජ මාධ්‍ය හරහා පතුරවන විවිධ වැරදි තොරතුරු හේතුපාදක වෙනු ඇත. මෑතක දී සිදුවුණා හලාවත සිද්ධිය උදාහරණයක් ලෙස දැක්විය හැක. මෙම වැරදි තොරතුරු සමාජගතවීම වලක්වා ගැනීම සඳහා පොලිස් මූලස්ථානයේ විශේෂ ඒකකයක් පිහිටුවා ඇත. සමාජ මාධ්‍ය හරහා ව්‍යාජ තොරතුරු බෙදා හැරීම වැළැක්වීම සඳහා මෙම ඒකකය කටයුතු කරනු ඇත. සමාජ මාධ්‍ය හරහා ජාතින් අතර අසමගිය හා වෛරය ඇතිකරන හා පොදු ජනතාව අතර භිතිය ඇතිකරන ව්‍යාජ තොරතුරු නිර්මාණය කරන සහ පතුරවන අයවලුන් හට හදිසි නීතියට අනුව වසර 3 සිට 5 දක්වා සිරදඩුවම් නියම කළ හැකි බවත් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ ජාත්‍යන්තර අයිතිවාසිකම් පනත යටතේ වසර 10 ක සිර දඬුවමක් නියම කල හැකි බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අනාවරණය කළේය.

නීතිමය අවසරයකින් තොරව පුපුරණ ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටින අයවලුන්ට ඒවා ලඟම ඇති පොලිසියට බාරදීමට ලබාදුන් සහන කාල සීමාව හෙට (මැයි 14) පෙරවරු 6 ට අවසන් වේ. කොච්චිකඩේ පල්ලිය වෙත මරාගෙන මැරෙන බෝම්බකරු ප්‍රවාහනය කිරීම සඳහා යොදාගන්නා ලද, විශේෂ කාර්ය බලකා විසින් අප්‍රේල් 22 වන දින පුපුරවා හල වෑන් රථය කිංස්බරි හෝටලයේ දී මරාගෙන මැරුණු බෝම්බකරුගේ නම යටතේ ලියාපදිංචි වී ඇති බව පොලීසිය අනාවරණය කරගෙන ඇත. තවත් සැකකරුවෙකු මෙම මෙහෙයුම සඳහා සම්භන්ධ වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද පරීක්ෂණවලින් අනාවරණය වී ඇත. ඔහුගේ පැන්සලෙන් අඳින ලද චායාරූපයක් මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කරන ලද අතර, මෙම සැකකරු හඳුනා ගැනීම සඳහා පොලීසිය පොදු ජනතාවගෙන් සහාය ඉල්ලා සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.