මානුෂීය මෙහෙයුම සඳහා විශ්‍රාම යන ගුවන් හමුදාපතිගේ දායකත්වය ප්‍රශංසනීයයි - ආරක්ෂක ලේකම්

නොවැම්බර් 02, 2020

දශක තුනක කාලයක් තිස්සේ පැවති ත්‍රස්තවාදය තුරන් කළ මානුෂීය මෙහෙයුම සඳහා ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාෂල් සුමංගල ඩයස්ගේ දායකත්වය බෙහෙවින් ඉවහල් වූ බව හා එම මෙහෙයුමේ සාර්ථක අවසානය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව   විශිෂ්ට සේවයක් කළ බව ද  ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පැවසීය.

ත්‍රස්තවාදී  උවදුර තුරන් කිරීම සඳහා වූ ජාතික වැඩපිළිවෙළේදී  ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාෂල් සුමංගල ඩයස් විසින් කරන ලද සේවය සැබවින්ම ප්‍රශංසනීය බව ආරක්ෂක ලේකම් පැවසීය.

“මානුෂීය මෙහෙයුමේදී ජ්‍යෙෂ්ඨ ගුවන් සම්බන්ධීකාරකවරයෙක්  ලෙස භූමියේ  මෙහෙයුම් සාර්ථකව මෙහෙයවීම සඳහා වැදගත් වූ ගුවන් සහාය ලබා ගැනීම සහ  සම්බන්ධීකරණය කිරීම සඳහා ඔහුගේ අඛණ්ඩ මැදිහත්වීම, ක්ෂේත්‍රයේ සියල්ලන්ගේ ඉහළ ප්‍රශංසාවට හා ගෞරවයට පාත්‍ර විය” යනුවෙන් ගුවන් හමුදාපති එයාර් චීෆ් මාෂල් සුමංගල ඩයස් වෙනුවෙන් සංවිධානය කරන ලද උපහාර උත්සවයේදී සමුගැනීමේ දේශනය පවත්වමින් ආරක්ෂක ලේකම්වරයා අද (නොවැ. 02) ආරක්ෂක අමාත්‍යාංශයේ දී පැවසීය.

“එයාර් චීෆ් මාෂල් සුමංගල ඩයස් ආදර්ශමත් චරිතයක් වගේම ගුවන් හමුදාපතිවරයා ලෙස ඔහුගේ සේවා  කාලය තුළ වර්තමාන වසංගත තත්වය මැඩපැවත්වීමට ප්‍රයත්නයන් දරමින් නිවැරදි නායකත්වයක් ලබා දී ගුවන් හමුදාව නිසි ගමන්මගේ රැගෙන යන්න ඔහුට හැකිවුනා” යනුවෙන් හමුදාපතිවරයකු සතුවිය යුතු ලක්ෂණ ගෙනහැර දක්වමින් මේජර් ජෙනරාල් ගුණරත්න පැවසීය.

කොරෝනා වෛරසයට එරෙහි සටන, ආරක්ෂිත රටක්, විනයගරුක, ගුණවත් හා යහපත් සමාජයක් ගොඩනැගීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය හා නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා උරුම කළමනාකරණය  ජනාධිපති කාර්ය සාධක බලකාය   වැනි සාර්ථක පැවරුම් ගැන සඳහන් කරමින්  “මේ දක්වා අප ලබා ඇති ජයග්‍රහණ පිළිබඳව අප සැවොම සතුටු විය යුතු අතර අනාගතයේ දී ද අපේ උපරිමය ජාතියට ලබා දීමට උත්සාහ කරමු” යැයි ඔහු පැවසීය.

“කණ්ඩායමක් ලෙස අප ලබා ඇති සාර්ථකත්වයට පිටුපසින් විශ්‍රාම යන ගුවන් හමුදාපති එයාර් චීෆ් මාෂල් සුමංගල ඩයස් ගේ දායකත්වය ද විය” යනුවෙන් ඔහු පැවසීය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් IDH රෝහලේ කර ඇති  ඇති ඉදිකිරීම් සහ ලබා දෙන වෛද්‍ය ආධාර , දේශීය නියමුවන් රහිත ගුවන් යානා බලඝනයට තවත් ගුවන් යානා  හතරක් දක්වා වැඩි කරමින්  සංවර්ධනය කිරීම හා පුළුල් කිරීම, විශ්‍රාමික ගුවන් හමුදා  සඳහා රෝහල් වාට්ටු ඉදිකිරීම සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව ශක්තිමත් කිරීම යන කරුණු පිලිබඳ විශේෂ අවධානයක් යොමු කරමින්  “ඔහුගේ ධූර කාලය තුළ එම ජයග්‍රහණ බෙහෙවින් ප්‍රශංසනීය ”බව ඔහු පැවසීය.

මෙම සැසිවාරයේදී ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය වෙත ගුවන් හමුදා  සේවා වනිතා ඒකකයේ   සභාපති ප්‍රභාවි ඩයස් විසින් කරන ලද සේවාවන් ද ආරක්ෂක ලේකම්ගේ පැසසුමට ලක් විය.

“මගේ කාර්යය මණ්ඩලයට සහ මා හට ආරක්ෂක අමාත්‍යංශය විසින් ලබා දුන් සුහද සහාය සහ උපදේශනය, ආරක්ෂක අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය අතර ඇති සියලුම සම්බන්ධතා අතිශයින්ම සහයෝගයෙන් සිදු කර ගැනීමට උපකාර විය.”යනුවෙන් ගුවන් හමුදාපති එයාර් චීෆ් මාෂල් සුමංගල ඩයස් මහතා ආරක්ෂක ලේකම්, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සහ සියලු ආරාධිත අමුත්තන්ට සිය කෘතඥතාව පළ කරමින් පැවසීය.

වසර ගණනාවක් තිස්සේ යුද හමුදා  සහ නාවික හමුදාපතිවරුන්ගේ  සහයෝගය සහ හමුදා අතර පවතින ශක්තිමත් බැඳීම උපුටා දක්වමින් “අපගේ ත්‍රිවිධ හමුදාවේ ඒකාබද්ධ මෙහෙයුම් හැකියාවන් මෑතකදී වැඩිදියුණු කිරීම මගින්  ජාතික හා අන්තර්ජාතික තර්ජනවලට    එරෙහිව සටන් කිරීමට මෙන්ම COVID-19 වසංගතයට එරෙහි අඛණ්ඩ මෙහෙයුමට ද විශාල වාසියක් වූ බව මගේ විශ්වාසයයි”, ඔහු පැවසීය.

මෙම උත්සවය සංකේතවත් කරමින් ආරක්ෂක ලේකම් විසින් විශ්‍රාම යන ගුවන් හමුදාපතිවරයාට සමරු තිළිණයක් ප්‍රදානය කරන ලද අතර, ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනී චිත්‍රානී ගුණරත්න මහත්මිය විසින් ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී   ප්‍රභාවී ඩයස් මහත්මිය  වෙත විශේෂ සිහිවටනයක් ද   පිළිගැන්වූවාය.   

අතිරේක ලේකම් (ආරක්ෂක) පී.බී.එස්.සී.නොනිස්  විසින්  පිළිගැනීමේ දේශනය පැවැත්වීය.

මෙම අවස්ථාවට විදේශ අමාත්‍යාංශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ , වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ යුද හමුදා සේවා වනිතා ඒකකයේ  සභාපතිනී  සුජීවා නෙල්සන්, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ  සභාපතිනී  චන්දිමා උළුගේතැන්න, ගුවන් හමුදාවේ නව හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරන සහ නව ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ  සභාපතිනී  චාමිනි පතිරන, වැඩබලන පොලිස්පති සීඩී වික්‍රමරත්න සහ පොලිස් සේවා වනිතා ඒකකයේ  සභාපතිනී ප්‍රියංගි වික්‍රමරත්න, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් (විශ්‍රාමික) ආනන්ද පීරිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවා වනිතා ඒකකයේ  සභාපතිනී කුමුදිනී  පීරිස්, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ  අධ්‍යක්‍ෂක ජෙනරාල්   රියර් අද්මිරාල් අනුර ඒකනායක ,   ජාතික බුද්ධි ප්‍රධානී , අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් සහ ජ්‍යෙෂ්ඨ  හමුදා නිලධාරීන් ද සහභාගී වූහ.