බෝ නොවන රෝගවලින් පෙළෙන පුද්ගලයින් රැක ගැනීමට ජනාධිපතිතුමාගේ අවධානය

නොවැම්බර් 12, 2020
  • බස්නාහිර පළාතේ පුද්ගලයින්ට පළාතෙන් පිටතට ගමන් කිරීම තහනම්
  • බෝ නොවන රෝගවලින් පෙළෙන්නන් රැක ගැනීමට විශේෂ අවධානය
  • දිවයිනේ සියලු ප්‍රාදේශීය බෙහෙත් ශාලා සක්‍රීය කෙරේ

දෛනිකව පවත්වනු ලබන කොවිඩ් කාර්ය සාධක බලකාය ඊයේ (11)දින ජනාධිපති කාර්යාලයේ දී රැස්වූ අවස්ථාවේදී වෛරස් තත්ත්වය තවදුරටත් පැතිරීම වැළැක්වීම සඳහා බස්නාහිර පළාතේ සිට දිවයිනේ සෙසු ප්‍රදේශ කරා ගමන් කිරීම වැළැක්වීමට පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.  

හුදකලා කර ඇති ප්‍රදේශ වෙත භාණ්ඩ බෙදා හැරීමට සම්බන්ධ වන පාර්ශව නිවැරදි ක්‍රමවේද අනුගමනය කරන්නේ ද යන්න අඛණ්ඩව නිරීක්ෂණය කරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි .

මේ අතර, ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ හදුනාගත් ප්‍රදේශවලට ‘ඇතුළුවීමට’ හෝ ‘පිටවීමට’ කිසිවෙකුට ඉඩ නොදිය යුතු බවයි.

බෝ නොවන රෝගවලින් පීඩා විඳින්නන් කොරෝනා වෛරසය ආසාදනයෙන් වළක්වා ගැනීම සඳහා අදාළ මාර්ගෝපදේශ බෙදා හැරීම සහ දැනුවත් කිරීමේ ව්‍යාපාර කඩිනමින් පවත්වන ලෙස  සහ වර්තමාන තත්ත්වය ප්‍රමුඛතාවය අනුව  විසඳුම් ලබාදෙන ලෙස ජනාධිපති රාජපක්ෂ රැස්වීමේදී අදාළ පාර්ශ්වයන්ට උපදෙස් දුන්නේය.

ප්‍රධාන රෝහල් වෙත පැමිණීමට ජනතාවට ඇති දුෂ්කරතා හඳුනාගෙන ප්‍රාදේශීය බෙහෙත් ශාලා කඩිනමින් පූර්ණ සක්‍රීයත්වයට පත් කළයුතු යැයි ද රාජපක්ෂ මැතිතුමා අවධාරණය කළේය.

ඒවාට අවශ්‍ය වෛද්‍ය, හෙද ඇතුළු සෙසු කාර්ය මණ්ඩලය කඩිනමින් අනුයුක්ත කළ යුතු බව ද ජනාධිපතිතුමා පැවසූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.