‘ෂර්මන්’ ‍නෞකාව කොළඹ වරායට

මැයි 12, 2019

ඇමෙරිකා එක්සත් ජනපදය වෙතින් ශ්‍රීලංකා නාවික හමුදාව වෙත ලබා ගන්නා ලද ඇමෙරිකානු වෙරළාරක්‍ෂක ‘ෂර්මන්’ නෞකාව අද (මැයි 12) උදෑසන කොළඹ වරායට සේන්දු විය. එහිදී නාවික සම්ප්‍රදායානුකූල චාරිත්‍ර අනුව නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගන්නා ලදී.

නිලධාරීන් 22 දෙනෙකුගෙන් සහ නාවිකයින් 111 දෙනෙකුගෙන් සමන්විත නැව් මුළුව සමග එම නෞකාව පිළිගනිම සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා ද සහභාගී වී සිටියහ. පසුව නාවික හමුදාපතිතුමන් එම නෞකාවෙහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.

මෙම නෞකාව දිගින් මිටර් 115 ක් වන අතර යුද ශිල්පීය අවි ආයුධ වලින් සමන්විත පවතින බැව් නාවික හමුදා නිල වෙබ් අඩවිය පවසයි. මෙම නෞකාව නුදුරු අනාගතයේදී ජනාධිපතිතුමන් අතින් අධිකාරියට පත්වීමට නියමිතය. එය ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා කණ්ඩායමට එක් වූ පසු ශ්‍රී ලංකා නාවික හමුදාවේ භාවිතා වන විශාලතම නෞකාව බවට පත්වේ. ශ්‍රී ලංකාවට අයත් ගැඹුරු මුහුදු කලාපය තුළ සෙවීමේ සහ මුදවා ගැනීමේ මෙහෙයුම්, සාගර සම්පත් ආරක්‍ෂා කිරීම සහ නාවික කටයුතුවල නිරත වන නෞකා සහ යාත්‍රා වෙත සහන සැපයිම සඳහා මෙම නෞකාව යොදා ගැනීමට අපේක්‍ෂා කර ඇත.