හසලක ගාමිණි රණවිරුවාගේ 28 වන ගුණ සැමරුම කොළඹ දී

ජුලි 11, 2019

6 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට අයත් කෝප්‍රල් ගාමිණි කුලරත්න රණවිරුවාගේ 28 වන ගුණ සැමරුම අද (ජූලි 11) කොළඹ සංචාරක අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ගරු කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ජනමාධ්‍ය හා වැඩබලන ආරක්‍ෂක අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් එස්.එච්.එස්. කොට්ටෙගොඩ (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගී වූහ.

මියගිය රණවිරුවන් සහ පාස්කු ඉරුදින විපතට පත්වුවන් සිහි කරමින් විනාඩියක නිශ්ශබ්දතාවක් ආරක්‍ෂා කිරීමෙන් පසුව උත්සවය ආරම්භ විය. ආගමික වතාවත් සිදුකිරීමෙන් පසුව ජනාධිපතිතුමන්ගේ සහ අගමැතිතුමන්ගේ පණිවිඩ ප්‍රකාශයට පත් කරන ලදී.

1991 ජුලි 14 වන දින කුරිරු ත්‍රස්තවාදීන් සමඟ ඇතිවූ සටනකදී කෝප්‍රල් ගාමිණි කුලරත්න රණවිරුවා සිය ජීවිතය පූජා කරමින් අලිමංකඩ කඳවුරේ කොටු වී සිටි සිය ගණනක් සොල්දාදුවන්ගේ ජීවිත බේරා ගන්නා ලදී. මෙම නිර්භීත ක්‍රියාව වෙනුවෙන් පුද කල හැකි ඉහලම හමුදා සම්මානය වන 'පරම වීර විභූෂණ' (පීඩබ්ලිව්වී) සම්මානයෙන් කෝප්‍රල් කුලරත්න රණවිරුවා පිදුම් ලැබීය.

මෙම අවස්ථාවට ආගමික නායකයින්, අමාත්‍ය ගරු ජෝන් අමරතුංග, විජිත් විජිතමුනි සොයිසා, රාජ්‍ය අමාත්‍ය ගරු රංජිත් අලුවිහාරේ, හසලක ගාමිණි රණවිරුවාගේ මව වන ජුලියට් මහත්මිය, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් සහ අභාවප්‍රාප්ත කෝප්‍රල් ගාමිණි කුලරත්න රණවිරුවාගේ පවුලේ සාමාජිකයින් ද සහභාගී වූහ