නාවික හමුදාව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයට රසායනාගාර පහසුකම් පිරිනමයි

නොවැම්බර් 18, 2022

ආරක්‍ෂක අමාත්‍යාංශයේ අනුමැතිය මත නාවික හමුදාවේ දන්ත වෛද්‍ය සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ උපාධි අපේක්‍ෂකයින් හුරුකරවීමේ වැඩසටහනක් පසුගියදා කොළඹ නාවික මහ රෝහලේදී පැවැත්විණි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අභිනවයෙන් පිහිටුවන ලද දන්ත වෛද්‍ය පීඨයේ උපාධි අපේක්‍ෂකයින් පුහුණු කිරීම සඳහා නාවික හමුදා රෝහලේ රසායනාගාර සහ සායනික සම්පත් බෙදා ගැනීමේ ගිවිසුමක කොටසක් ලෙස මෙය ආරම්භ කළ බව නාවික හමුදාව පවසයි.

මෙවන් පහසුකමක් ලබා ගැනීමට විශාල මුදල් ප්‍රතිපාදනයක් අවශ්‍ය වන නිසා නාවික හමුදාව සතු සම්පත් උපාධි අපේක්‍ෂකයින්ගේ ප්‍රයෝජනය සඳහා ද වෙන්කර දෙන ලෙස දන්ත වෛද්‍ය පීඨයේ පීඨාධිපතිවරයා නාවික හමුදාවෙන් කළ ඉල්ලීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම වැඩසටහන ආරම්භ කළ බව නාවික හමුදාව පවසයි.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ උපදෙස් පරිදි කෙඩෙට් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ උපාධි අපේක්‍ෂකයින් 32 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මෙම හුරුකරවීමේ වැඩසටහන සාර්ථකව පවත්වන ලද බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළේය.