යුද හමුදාව මඩු ප්‍රදේශයේ ඉදිකරන ලද නව නිවසක් සහ මඩකලපුවේ පාසල් ක්‍රීඩා පිටියක් ජනතා අයිතියට පත් කෙරේ

නොවැම්බර් 21, 2022

වන්නි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මූල්‍ය ප්‍රතිපාදන මත යුද හමුදාව විසින් මඩු පෙරියපණ්ඩිවිරිච්චාන් ප්‍රදේශයේ පවුලක් සඳහා නව නිවසක් ඉදිකර පසුගියදා ඔවුන් වෙත එය පවරා දෙන ලදී.

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 24 වන ගජබා රෙජිමේන්තුවේ සෙබළුන් විසින් මෙම නිවාස ඉදිකිරීම සඳහා ඉංජිනේරු විශේෂඥ දැනුම සහ ශ්‍රම දායකත්වය ලබා දුන් බව යුද හමුදා ආරංචි මාර්ග පවසයි.

ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ඥාතීන් සහ ගම්වාසීන් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවති චාම් උත්සවයකදී දරුවන් දෙදෙනෙකු සිටින වැන්දඹුවක් වන නිවාස ප්‍රතිලාභි රාසු කාලිඅම්මා මහත්මිය වෙත නව නිවසේ යතුර ප්‍රදානය කළ බව යුද හමුදාව වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර, නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයට අයත් භට පිරිස් විසින් මඩකලපුව මන්මුනේ විනයානගර් විද්‍යාලයේ සිසුන් සඳහා ක්‍රීඩා පිටියක් ඉදිකර එය සිසු අයිතියට පත් කිරීම පසුගියදා සිදු කරන ලදී.

විද්‍යාලයේ විදුහල්පති විසින් යුද හමුදාපතිවරයාගේන් කරන ලද ඉල්ලීමකට අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අදාළ බලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය 7 වන ශ්‍රී ලංකා ක්ෂේත්‍ර ඉංජිනේරු බලකායේ භට පිරිස් සහ 3 වන ඉංජිනේරු සේවා බලකායේ භට පිරිස් විසින් සාදා නිම කළ බව යුද හමුදා මාධ්‍ය වාර්තා කළේය.

අක්කර 1.75 ක භූමි භාගයක ක්‍රීඩා මණ්ඩපයක් සහිතව ක්‍රීඩා පිටියක් ඉදිකිරීම සඳහා අවශ්‍ය රුපියල් මිලියන 6.25 ක මුදල සඳහා කැනඩාවේ රාජ්‍ය නොවන සංවිධානයක් විසින් අනුග්‍රහකත්වය දැක්වූ බව යුද හමුදාව ප්‍රකාශ කළේය.

ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, විනයානගර් විද්‍යාලයේ විදුහල්පති වී. පුෂ්පහරන් මහතා, දෙමාපියන් සහ සිසුන් විසින් ක්‍රීඩා පිටිය විවෘත කරන ලදී.