51 වැනි බංගලාදේශ සන්නද්ධ හමුදා දින උත්සවය ආරක්‍ෂක ලේකම්ගේ ප්‍රධානත්වයෙන්

නොවැම්බර් 22, 2022

ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න, ඊයේ (නොවැ 21) සවස කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැති 51 වැනි බංගලාදේශ සන්නද්ධ හමුදා දින උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය.

ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් අතිගරු තාරෙක් අරිෆුල් ඉස්ලාම් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය සංවිධානය කරන ලදී.

නොවැම්බර් 21 වන දින සමරනු ලබන බංග්ලාදේශ සන්නද්ධ හමුදා දිනය මේ වසරේ එහි 51 වන සංවත්සරය සනිටුහන් කරයි.

බංගලාදේශ සන්නද්ධ හමුදා දින උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වමින් ජෙනරල් ගුණරත්න ප්‍රකාශ කළේ 1971 බංග්ලාදේශ නිදහස් සටන මගින් ලොව නිදහස් ව්‍යාපාර ඉතිහාසයේ සුවිශේෂී සංසිද්ධියක් වන අතර දකුණු ආසියානු කලාපයේ සාමයට ලැදි ජනතාව එය බංගලාදේශ ජනතාවගේ සහ සන්නද්ධ හමුදාවන්ගේ ධෛර්යයේ, නිර්භීතකමේ සහ දේශප්‍රේමයේ ආදර්ශයක් ලෙස සලකනු බවයි.

බංගලාදේශය සහ ශ්‍රී ලංකාව අතර ඉතිහාසය පුරා ආරක්‍ෂාව ඇතුළු ක්ෂේත්‍ර රැසක පවත්වාගෙන ගිය සුහද සම්පන්න සබඳතාවයේ වැදගත්කම ද ආරක්‍ෂක ලේකම්වරයා අවධාරණය කළේය.

මෙම අවස්ථාව අතරතුර බංගලාදේශ මහ කොමසාරිස් විසින් ආරක්‍ෂක ලේකම් වෙත සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හා ගුවන් හමුදාපතිවරුන්, රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.