ආරක්‍ෂක සේනා මූලස්ථාන - යාපනය නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙත
නව නිවසක්

නොවැම්බර් 27, 2022

ආරක්‍ෂක සේනා මූලස්ථාන - යාපනය විසින් ක්‍රියාත්මක කරනු ලබන නිවාස ඉදිකිරීමේ ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියේ තවත් පියවරක් වශයෙන් 55 වන සේනාංකයේ 551 වන බලසේනාවේ භටපිරිස් විසින් පුලෝලි - බටහිර පේදුරුතුඩුව ප්‍රදේශයේ දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවි ගෙවන පවුලක් සඳහා නව නිවසක් ඉදිකර දෙන ලදී. නව නිවස ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් චන්දන විජයසුන්දරගේ ප්‍රධානත්වයෙන් පසුගිය බදාදා (23) පැවති උත්සවයකදී නිවාස ලාභි පවුල වෙත භාර දෙනු ලැබූහ.

ආරක්‍ෂක සේනා මූලස්ථාන - යාපනය භටපිරිස් විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව මේජර් ජෙනරල් රවී රත්නසිංහම් (විශ්‍රාමික) ගේ සම්බන්ධීකරණයෙන් දානපති ශීලා එමානුවෙල් මහත්මිය විසින් මෙම ප්‍රජා මූලික වැඩසටහන සඳහා සිය මූල්‍යමය අනුග්‍රාහකත්වය ලබා දෙනු ලැබීය.

55 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න ගුණරත්න සහ 551 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් චින්තක වික්‍රමසිංහගේ අධීක්‍ෂණය යටතේ එම බලසේනාවේ භටපිරිස්හි ශ්‍රම දායකත්වය සහ තාක්‍ෂණික දැනුම උපයෝගි කරගනිමින් කෙටි කාලයක් ඇතුලත නව නිවස ඉදිකරනු ලැබීය. ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී මහතුන්ගේ සහයෝගය මත භටපිරිස් විසින් නව නිවාස ලාභී පවුල තෝරා ගන්නා ලදී.

ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැමිණි මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර විසින් හින්දු ආගමික වතාවත් සහ සම්ප්‍රදායික චාරිත්‍ර වලින් පසුව නිවාස ලාභී ජයපුරන් නන්දනී මහත්මිය වෙත සංකේතාත්මකව නව නිවසේ යතුර ප්‍රධානය කරන ලදී. මෙම උත්සව අවස්ථාව සඳහා පේදුරුතුඩුව නගරාධිපති ජෝෂෙප් ඉරුතයරාජා, පේදුරුතුඩුව ප්‍රාදේශීය සභාවේ සභාපති චාල්ස් ආරියකුමාර්, පේදුරුතුඩුව ප්‍රාදේශීය ලේකම් අල්වායිපිල්ලේ සිරි යන මහත්වරුන් සහ ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන්, නිවාස ලාභී පවුලේ ඥාතීන්, ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - උතුර, ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී, නිලධාරීන් සහ නිවස ඉදිකිරීම් සඳහා දායකත්වය දැක්වූ සෙසු නිලයින් ඇතුළු පිරිසක් පැමිණ සිටියහ.

අනුග්‍රහය - www.army.lk