නීතිවිරෝධී මෝර වරල් සහිත ධීවර යාත්‍රාවක් වෙරළාරක්ෂක නිලධාරීන්ගේ අත්අඩංගුවට

නොවැම්බර් 28, 2022

නීතිවිරෝධී ලෙස ලබා ගත් මෝර වරල් සන්තකයේ තබාගෙන සිටි බහුදින ධීවර යාත්‍රාවක් සහ ධීවරයින් හය දෙනෙකු ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් පසුගිය සෙනසුරාදා (26) අත්අඩංගුවට ගෙන ඇත.

වෙරළාරක්ෂක දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන්නේ ගාල්ල ධීවර වරායේ ධීවර නිරීක්ෂණ සහ නියාමන රාජකාරි සඳහා යොදවා සිටි නිළධාරින් විසින් බහුදින ධීවර යාත්‍රාවක් තුළ සිදු කළ පරීක්‍ෂණයකදී මෙම නීති විරෝධී ද්‍රව්‍ය අත්අඩංගුවට ගත් බවයි.

ඒ අනුව, ධීවර කටයුතු අවසන් කර ආපසු පැමිණි ධීවර යාත්‍රාවක සඟවා තිබූ වියළි මෝර වරල් 38ක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

පවතින නීති රෙගුලාසි වලට අනුව ඕනෑම මෝර විශේෂයක කොටස් රඳවා තබාගැනීම, ප්‍රති නැව්ගත කිරීම හෝ ගොඩබෑම වරදකි.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් භාණ්ඩ සමඟ ඉදිරි නීතිමය කටයුතු සඳහා ගාල්ල ධීවර පරීක්ෂක වෙත භාරදුන් බව වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව පවසයි.