ඉහළ ආරක්‍ෂක නිලධාරීන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල රෝහලේ සංචාරයක

දෙසැම්බර් 01, 2022

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සහ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල කළමනාකරණ මණ්ඩලයේ සභාපති වන ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සමග අද (දෙසැම්බර් 01) වේරහැර පිහිටි ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල රෝහලේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති මේජර් ජෙනරල් මිලින්ද පීරිස් එම ස්ථානයට පැමිණි ආරාධිත අමුත්තන්ව පිළිගන්නා ලදී. ඉන් අනතුරුව ඔවුන් රෝහලේ මෙහෙයුම් අංගයන් සහ පහසුකම් පිළිබඳ නිරීක්‍ෂණයක නිරත විය.

රාජ්‍ය අමාත්‍යවරයා සහ ආරක්‍ෂක ලේකම්වරයා නේවාසික රෝගි වාට්ටු වෙත ගොස් එහි ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සුවදුක් විමසා බැලීමද මෙහිදී සිදුවිය.

මෙම වැඩසටහනෙන් අනතුරුව පැවති සාකච්ඡාවේදී රෝහලට අදාල ප්‍රධාන කරුණු කිහිපයක් සම්බන්දයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදී.

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල රෝහලේ අනාගත අවශ්‍යතා සපුරාලීම සඳහා සැලසුම් කර ඇති පරිදි සම්පත් උපරිම වශයෙන් යොදා ගැනීම පිළිබඳව ඊයේ (නොවැ 30) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී හමුවක් ද පැවැත්විණි.

ආරක්‍ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම් (ආරක්‍ෂක) ධම්මිකා විජයසිංහ මහත්මිය, විශ්වවිද්‍යාල රෝහලේ වෛද්‍ය සේවා අධ්‍යක්‍ෂ, ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරීන් සහ ආරක්‍ෂක අමාත්‍යාංශයේ නිලධාරීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.