ගිණිකොන මුහුදේ දී ආපදාවට පත් ධීවර යාත්‍රාවක සිරවී සිටි ධීවරයෙක් ඇතුළු ධීවරයින් 04ක්‍ නාවික හමුදාව බේරාගනියි

දෙසැම්බර් 12, 2022

ශ්‍රී ලංකා නාවික හමුදාව සිදුකල විශේෂ සෙවීමේ හා මුදවා ගැනීමේ මෙහෙයුමක් මඟින්, සංගමන්කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 46ක් පමණ (කිලෝ මීටර් 85ක් පමණ) දුරින්, ශ්‍රී ලංකාවට ගිණිකොන දෙසින් වූ ගැඹුරු මුහුදේ දී අයහපත් කාළගුනික තත්වය හේතුවෙන් පෙරලීමෙන් ආපදාවට පත් ධීවර යාත්‍රාවක දින හතරක් සිරවී සිටි ධීවරයෙකු ඇතුළුව ධිවරයින් සිව් දෙනෙක් (04) නිරුපද්‍රිතව බේරාගැනීමෙන් අනතුරුව, ප්‍රතිකාර සඳහා කල්මුණේ මූලික රෝහල වෙත යොමු කිරීමට අද (2022 දෙසැම්බර් මස 11) කටයුතු කරන ලදී.

ත්‍රීකුණාමලය, ධීවර වරායෙන් 2022 නොවැම්බර් මස 26 වන දින ධීවර කටයුතු සඳහා පිටත්ව යන ලද ධීවරයින් 05 දෙනෙකු රැගත් මෙරට බහු දින ධීවර යාත්‍රාවක් (හිම්සර - ලියාපදිංචි අංක IMUL-A-0101-TLE) සංගමන්කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 46ක් පමණ (කිලෝ මීටර් 85ක් පමණ) දුරින් ශ්‍රී ලංකාවට ගිණිකොන දෙසින් වූ ගැඹුරු මුහුදේ අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පෙරළි එහි සිටි ධීවරයින් අනතුරට පත්ව ඇති බවට නාවික හමුදා මූලස්ථානයට ලද තොරතුරකට අනුව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න ගේ උපදෙස් මත අනතුරට පත් එම ධීවරයින් මුදවා ගැනීම සඳහා මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරන ලදී.

ඒ අනුව, නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත කොළඹ සමුද්‍රීය සෙවීම් සහ මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය මඟින් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වෙතින් කරුණු තහවුරු කර ගැනීමෙන් අනතුරුව, ගිණිකොන මුහුදු ප්‍රදේශයේ මුර සංචාරයේ නියුතු ශ්‍රී ලංකා නාවික නෞකා රණරිසි නෞකාව, අනතුරට පත් ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් මුදවා ගැනීම සඳහා යොමු කරන ලදි. රණරිසි නෞකාව මඟින් එම මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු සිදුකරමින් සිටි මෙරට බහුදින ධීවර යාත්‍රාවක ද සහය ඇතිව අනතුරට පත් ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් තිදෙනෙකු (03) මුදා ගැනීමට කටයුතු කල අතර, එම ධීවරයින්ගෙන් අනාවරණය වූ තොරතුරු මත මෙම යාත්‍රාව අනතුරට පත් 2022 දෙසැම්බර් 07 රාත්‍රියේ සිට අනතුර හේතුවෙන් අතුරුදන්ව සිටි ධීවරයින් දෙදෙනෙකු සෙවීම සඳහා විශේෂ කිමිදුම් මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලදි. එහිදී, අනතුරට පත් ධීවර යාත්‍රාවේ එන්ජින් කාමරයේ දින හතරක (04) කාලයක් සිරවී අසාධ්‍ය තත්වයේ සිටි එක් ධීවරයෙකු නාවික හමුදා කිමිදුම් කරුවන් විසින් මහත් පරිශ්‍රමයක් යොදා නිරුපද්‍රිතව මුදවා ගැනීමෙන් අනතුරුව, රණරිසි නෞකාව මතට රැගෙන මූලික ප්‍රථමාධාර ලබා දීමට කටයුතු කෙරිණි. අනතුරුව, අසාධ්‍ය තත්වයේ සිටි එම ධීවරයා සහ අනෙක් ධීවරයන් තිදෙනා කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් වැඩිදුර ප්‍රතිකාර සඳහා කල්මුණේ මූලික රෝහල වෙත යොමු කිරීමට අද (2022 දෙසැම්බර් 11) කටයුතු කෙරිණි.

තවද, ආපදාවට පත් යාත්‍රාවේ අතුරුදන්ව සිටි අනෙක් ධීවරයා සොයා නාවික හමුදාව විසින් එම මුහුදු ප්‍රදේශයේ තවදුරටත් මෙහෙයුම් සිදුකරනු ලබන අතර, නාවික හමුදා මූලස්ථානයේ ස්ථාපිත කොළඹ සමුද්‍රීය සෙවීම් සහ මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, ශ්‍රී ලංකාවට අයත් සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් කලාපය තුළ ආපදාවට පත් වන නාවික හා ධීවර ප්‍රජාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තර සුදානමෙන් සිටී.

අනුග්‍රහය - www.navy.lk