එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් සඳහා ප්‍රති ආශ්‍රැති ජල පිරිපහදු ඒකකයක්
නිපදවීමට නාවික හමුදාව ගිවිසුම්ගත වෙයි

දෙසැම්බර් 30, 2022

එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් සඳහා සහභාගී වන ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බළකායේ ප්‍රයෝජනය සඳහා නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය මඟින් ජංගම ප්‍රති ආශ්‍රැති ජල පිරිපහදු ඒකකයක් නිෂ්පාදනය කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බළකාය අතර අවබෝධතා ගිවිසුමක්‍ අත්සන් කිරීම 2022 දෙසැම්බර් මස 29 වන දින නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණ.

දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම සමඟ සම්බන්ධ වීමට සැලසුම් කර ඇති ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බළකායේ ප්‍රයෝජනය සඳහා මෙම ජංගම ප්‍රති ආශ්‍රැති ජල පිරිපහදු ඒකකය අඩි 20 ක ප්‍රමාණයේ බහාලුමක් තුළ නිපදවීමට සැලසුම් කර ඇති අතර, දිනකට ටොන් 60 ක ජල ප්‍රමාණයක් පිරිපහදු කිරීමට මෙමඟින් හැකියාව ඇත. මෙම ව්‍යාපෘතිය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාගේ මඟපෙන්වීම යටතේ ආරක්‍ෂක අමාත්‍යාංශය සහ මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහයෝගයෙන් ක්‍රියාත්මක කරනු ලබයි.

ශ්‍රී ලාංකීය ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරාලීම සඳහා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව, ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රජා සත්කාරක ව්‍යාපෘති යටතේ, ප්‍රති ආශ්‍රැති ජල පිරිපහදු ඒකක නිෂ්පාදනය කරනු ලබන අතර, එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා මෙම පළමු ජංගම ප්‍රති ආශ්‍රැති ජල පිරිපහදු ඒකකය නිෂ්පාදනය කිරීම එම ව්‍යාපෘතියේ විශේෂ සන්ධිස්ථානයක් ලෙස සනිටුහන් වනු ඇත.

අනුග්‍රහය - www.navy.lk