2023 සඳහා නැවුම් බලාපොරොත්තු සමගින් ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයේ සභාපතිනිය වැඩ අරඹයි

ජනවාරී 05, 2023
  • රණවිරු පවුල්වල සිසුන් 112 දෙනෙකු සඳහා රුපියල් 30,000 බැගින් වටිනා ශිෂ්‍යත්ව

ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනී චිත්‍රානි ගුණරත්න අද (ජනවාරි 5) දින අමාත්‍යාංශ පරිශ්‍රයේ සංවිධානය කර තිබූ කෙටි උත්සවයකදී ආගමික ආශිර්වාද මධ්‍යයේ නව වසරේ රාජකාරි කටයුතු ආරම්භ කළාය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් තෝරාගත් 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සඳහා සුදුසුකම් ලත් රණවිරු පවුල්වල දරුවන් සඳහා ලිපි ද්‍රව්‍ය ඇසුරුම් සහ ශිෂ්‍යත්ව 112 ක් ද ත්‍රිවිධ හමුදා සේවා වනිතා ඒකක සභාපතිවරුන් වෙත ප්‍රදානය කිරීම ද මෙම සැසියේදී සිදු කෙරිණි.

බැංකු තැන්පතුවක් ඇතුළුව රුපියල් 30,000 වටිනා මෙම ශිෂ්‍යත්ව සිසුන් අතර බෙදා හරින බව සේවා වනිතා ඒකකයේ ආරංචි මාර්ග පවසයි.

ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න, ත්‍රිවිධ හමුදාවේ සේවා වනිතා ඒකක සභාපතිවරුන්, අතිරේක ලේකම්වරුන් ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන්, හමුදා සම්බන්ධීකරණ නිලධාරී, මාධ්‍ය අධ්‍යක්ෂ සහ සේවා වනිතා කාර්ය මණ්ඩලය ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය හමුදා සාමාජිකයින්ට සහ ඔවුන්ගේ පවුල්වලට සුබසාධන ක්‍රියාමාර්ග රැසක් සමඟින් පහසුකම් සලසයි.

නිවාස ආධාර ලබාදීම, හදිසි අවස්ථාවලදී ආධාර සැපයීම සහ රණවිරු දරුවන්ට අධ්‍යාපනය ලබාදීම සේවා වනිතා ඒකකයේ ප්‍රධාන අරමුණු කිහිපයකි.