යුධ හමුදාව යාල ප්‍රදේශයේ පැළ 60,000 ක වනරෝපණ වැඩසටහනක් දියත් කරයි

ජනවාරී 09, 2023

ශ්‍රී ලංකා යුද හමුදාව සහ වනජීවී හා වන සංරක්‍ෂණ අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් යාල අභය භූමිය තුළ හෙක්ටයාර් 600 ක් ආවරණය වන පරිදි පැළ 60,000 ක් රෝපණය කරමින් ජාතික වන වගා වැඩසටහනක් දියත් කරන ලදි.

යාල, වත්තේගම, කැබිලිත්ත ඇතුඵ යාබද රක්‍ෂිත වනාන්තර ආවරණය වන පරිදි වන වගා මෙහෙයුම ක්‍රියාත්මකයි.

මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ 12 වන සේනාංකය යටතේ ක්‍රියාත්මක වන 121 බලසේනාවේ 20 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 18 වන ගැමුණු හේවා බලකායේ භට පිරිස් වනජීවී හා වන සංරක්‍ෂණ අමාත්‍යාංශය සමඟ අත්වැල් බැඳගෙන ව්‍යාපෘතිය මේ වසරේ ජනවාරි මස අගදී අවසන් කිරීමට සැලසුම් කර ඇති බව යුද හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.

කුඹුක්, සියඹලා, මහෝගනී, බුරුත, තේක්ක, තෙලඹු, කායන් සහ නා වැනි වඳවීමේ තර්ජනයට ලක්ව ඇති පැළ මෙම වැඩසටහන තුලදී රෝපණය කළ බව යුද හමුදාව තහවුරු කළේය.

මෙම වැඩසටහන සඳහා ජ්‍යෙෂ්ඨ යුද හමුදා නිලධාරීන් සහ භට පිරිස්, මොණරාගල ප්‍රාදේශීය වන නිලධාරී, කලාප වන නිලධාරී සහ වන සංරක්‍ෂණ කාර්යාලයේ කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.