එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ජනවාරී 12, 2023

ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති අතිගරු කාලිඩ් නසර් සුලෙයිමාන් අල්අමේරි මැතිතුමා අද (ජනවාරි 12) ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.

උණුසුම් පිළිගැනීමකින් අනතුරුව පැවති සුහද සාකච්ඡාවේදී ජෙනරල් ගුණරත්න සහ තානාපති අල්අමේරි දෙරට අතර ආරක්‍ෂක සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ මාර්ග පිළිබඳව සොයා බලන ලදී. තවද එරට දැනට සේවයේ නියුතු විශාල ශ්‍රී ලාංකික මානව සම්පත් වල දායකත්වය තානාපතිවරයාගේ පැසසුමට ලක් වූ අතර ඔවුන්ගේ කාර්යභාරය තම රටේ සංවර්ධනය සඳහා වැදගත් බව පැවසීය.

අද දින ප්‍රථම වරට ආරක්‍ෂක අමාත්‍යාංශයේ සංචාරයක නිරත වූ තානාපතිවරයාට ජෙනරල් ගුණරත්න සුබ පැතුම් එක් කළේය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් ආරක්‍ෂක ලේකම්වරයා සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපතිවරයා අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය.

ශ්‍රී ලංකා ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී මේජර් ජෙනරල් දිනේෂ් නානායක්කාර ද මෙම අවස්ථාවට සහභාගි විය.