අපි මුළු ලෝකයේම මිතුරන් මිස කිසිවකුගේ සතුරන් නොවේ - ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය

ජනවාරී 13, 2023
  • කර්නල් නලින් හේරත් විසින් රචිත ග්‍රන්ථය එළිදැක්වීම ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමන් සහ ආරක්‍ෂක ලේකම්ගේ ප්‍රධානත්වයෙන්

ගෝලීය භූ දේශපාලනික අවශ්‍යතාවල නවතම වර්ධනයන් හමුවේ දූපත් රාජ්‍යයක් ලෙස අපගේ අරමුණු යළි නිර්වචනය කිරීම අත්‍යවශ්‍ය වේ.

අපි මුළු ලෝකයේම මිතුරන් වන අතර, කිසිවෙකුගේ සතුරෙකු නොවෙයි යන වැදගත් කරුණ තේරුම් ගත යුතුය යනුවෙන් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා බ්‍රහස්පතින්දා (ජනවාරි 12) පැවති ග්‍රන්ථයක් එළිදැක්වීමේ උත්සවයකදී සඳහන් කළේය.

වියට්නාමය සහ ඇමරිකා එක්සත් ජනපදය උදාහරණ ලෙස ගනිමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුයේ, ඔවුන් අතීතයේදී යුද්ධ කළ නමුත් අද විශිෂ්ට වෙළඳ හවුල්කරුවන් බවට පත්ව ඇති අතර, අපිට බොහෝ පාඩම් මඟ හැරී ඇති බවත්ය.

බොහෝ රටවල් ආර්ථික, සමාජීය සහ දේශපාලන සංවර්ධනය සඳහා උපාය මාර්ග අනුගමනය කර ඇති අතර, අනාගතය වෙනුවෙන් අතීත කාරණා සූක්‍ෂම ලෙස වළක්වාගෙන ඇත. කොළඹ මෝදර ‘රොක් හවුස්’ යුද හමුදා කඳවුරේ උත්සව ශාලාවේ පැවති එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින් ඔහු මෙම අදහස් ප්‍රකාශ කළේය.

කර්නල් නලින් හේරත් විසින් රචිත “STORY OF THE WORLD: Geopolitical Alliances and Rivalries Set in Stone” ග්‍රන්ථය එළිදැක්වීම ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමන් සහ ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න ගේ ප්‍රධානත්වයෙන් මෙහිදී සිදුවිය.

උත්සවයේ ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස එක්වෙමින් ආරක්‍ෂක ලේකම් ජෙනරල් ගුණරත්න කියා සිටියේ භූ දේශපාලන ක්ෂේත්‍රයේ සන්ධාන සහ එදිරිවාදිකම් හෝ එහි පදනම මත ජාතියක ඉරණම තීරණය වන බැවින් භූ දේශපාලනය පිළිබඳ සාකච්ඡා කිරීම සහ අධ්‍යයනය කිරීම ලොව පුරා විද්වතුන් විසින් අතිශය වැදගත් කරුණක් ලෙස හඳුනාගෙන ඇති බවය.
 
කතුවරයාගේ උත්සාහයට ප්‍රශංසා කරමින් ජෙනරල් ගුණරත්න පැවසූයේ, කර්නල් හේරත් මෙම ක්‍ෂේත්‍රය පිළිබඳ පුළුල් අධ්‍යයනයකින් පසු ලබාගත් දැනුම සහ අවබෝධය හඳුනාගෙන මෙම ග්‍රන්ථය ප්‍රකාශයට පත් කිරීම සැබැවින්ම අගය කළ යුතු බවයි.

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපායමාර්ගික අධ්‍යයන අංශයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හරින්ද විදානගේ විසින් මෙම උත්සවයේ ප්‍රධාන දේශනය සිදුකළ අතර, බ්‍රිගේඩියර් ශ්‍රී මුදන්නායක (විශ්‍රාමික) විසින් විශේෂ ආරාධිත දේශනය පවත්වන ලදි.

කෘතිය එළිදැක්වීම සංකේතවත් කිරීම සඳහා කර්නල් හේරත් විසින් විශේෂ ආරාධිතයන් වෙත සිය නව කෘතියේ පිටපත් පිළිගැන්වීය.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් රංජන් ළමාහේවගේ (විශ්‍රාමික), ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ධනුෂ්ක රාමනායක මහතා, ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ සේනාවිධායක මේජර් ජෙනරල් අමල් කරුණාසේකර, ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරල් රුවන් කුලතුංග (විශ්‍රාමික), ජාතික ආරක්‍ෂක අධ්‍යයන ආයතනයේ වැඩබලන අධ්‍යක්‍ෂ ජෙනරාල් රියර් අද්මිරාල් දිමුතු ගුණවර්ධන, ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ හමුදා සහ පොලිස් නිලධාරීන්, විශ්වවිද්‍යාල ප්‍රධානීන් සහ ආචාර්යවරුන්, විද්වතුන්, මාධ්‍යවේදීන් සහ සම්භාවනීය අමුත්තන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

කර්නල් හේරත්ගේ මෙම නවතම ප්‍රකාශනය භූ දේශපාලනය, ඉතිහාසය, සංස්කෘතිය සහ ජාත්‍යන්තර සබඳතා ආදිය පිළිබඳ කරුණු එකතුවක් ලෙස ඉදිරිපත් කළ ‘විශ්වය අතමත’ (Globe in a Nutshell) නැමැති පෙර කෘතියේ නව මුහුණුවරකි.

මෙම නවතම ප්‍රකාශනය, යුක්රේන-රුසියා අර්බුදය පවතින මෙම කාලයේ භූ-දේශපාලනයේ සමකාලීන වර්ධනයන්ගේ පසුබිම තුළ නව ලෝක පර්යාය පිළිබඳ ගැඹුරු විශ්ලේෂණයක් සාදයි.