පළාත් කිහිපයකට වැසි අපේක්ෂා කෙරේ

ජනවාරී 17, 2023

අද (ජනවාරි 17) අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී දිවයිනේ පළාත් කිහිපයකට වැසි අපේක්ෂා කෙරේ. අද උදෑසන නිකුත් කරන ලද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකියට අනුව අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි අපේක්ෂා කළ හැකි බව එහි සඳහන්.

නැගෙනහිර පළාතේ සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර දකුණු පළාතේ ද උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස ජනතාවට උපදෙස් දෙනු ලැබේ.