කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් ක්‍රියාත්මක පුහුණු පාඨමාලාවන් රණවිරුවන් සඳහා නොමිලේ හැදෑරිමේ අවස්ථාවක්

ජනවාරී 18, 2023

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් දිවයින පුරා විවිධ ක්ෂේත්‍රයන් ආවරණය කරමින් ක්‍රියාවට නංවා තිබෙන ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු පාඨමාලාවන් නොමිලේ අධ්‍යයනය කිරීමේ අවස්ථාව රණවිරුවන් වෙත ලබා දී ඇත.

රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීරගේ (විශ්‍රාමික) විශේෂ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් මෙම විශේෂ කෘතගුණ දැක්වීම රණවිරු ප්‍රජාව වෙනුවෙන් සිදුකිරීමට එකඟතාවය පළ කර ඇත.

ඒ අනුව මෙම වැඩසටහන් මාලාවේ සමාරම්භය සනිටුහන් කරමින් බස්නාහිර පළාතේ කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කයන් නියෝජනය කරන තෝරාගත් රණවිරු ව්‍යවසායකයන් 25 දෙනෙකු සඳහා පාවහන් නිෂ්පාදනය කිරීමේ ව්‍යවසායක පුහුණු වැඩසටහනක් ඊයේ (ජනවාරි 17) කටුබැද්ද ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ දී පැවැත්විය.

බාටා සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහකත්වය මත මාස දෙකක කාලයක් ආවරණය වන පරිදි පවත්වනු ලබන මෙම පුහුණු වැඩසටහන අවසානයේ දී රණවිරු නිෂ්පාදන මිලදී ගනිමින් ඔවුනට අවශ්‍ය ව්‍යවසායක අත්වැල ලබාදීම සඳහා බාටා සමාගම විසින් කටයුතු කරනු ලබයි.

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයට ආවේණික වූ ව්‍යවසායක සංවර්ධන පාඨමාලා දෙසීයක් අතුරෙන් දිවයිනේ එක් එක් ප්‍රදේශයන්ට ගැලපෙන පරිදි දිස්ත්‍රික් සහ පළාත් මට්ටමින් රණවිරු ව්‍යවසාය සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය පුහුණු පාඨමාලා පැවැත්වීමට කටයුතු කරන බව එහි සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා මෙම වැඩසටහනේදී සඳහන් කරන ලදි.

රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්‍ෂ මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික), කාර්මික සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්‍ෂවරුන්, පළාත් නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරුන්, වැඩසටහන් නිලධාරීන් ඇතුළු නිලධාරීන්, රණවිරුවන් සහ රණවිරු පවුල්වල සාමාජිකයන් මෙම සමාරම්භක උත්සවය සඳහා සහභාගි විය.

දිවයින පුරා විසිරී සිටින විරුසරු කාඩ්පත් හිමි රණවිරුවන් සඳහා මෙම ව්‍යවසායක සංවර්ධන පාඨමාලා සඳහා නොමිලේ සම්බන්ධ වීමේ හැකියාව පවතින අතර, මේ සබැඳිව උනන්දුවක් දක්වන රණවිරුවන්හට දිස්ත්‍රික් සහ පළාත් නිලධාරීන් හරහා පළාත් හා විශේෂ ව්‍යාපෘති අංශය වෙතින් වැඩිදුර තොරතුරු ලබාගැනීමට හැකි බව රණවිරු සේවා අධිකාරිය විසින් දැනුම් දෙනු ලැබේ.