යාපනය මණ්ඩතිව් රෝමානු කතෝලික විද්‍යාලයේ නාවික හමුදා දායකත්වයෙන් ඉදිකළ ශ්‍රවණාගාර ගොඩනැගිල්ල සිසු අයිතියට

ජනවාරී 20, 2023

නාවික හමුදා තාක්ෂණික හා ශිල්පීය දායකත්වයෙන් යාපනය මණ්ඩතිව් දූපතේ පිහිටි රෝමානු කතෝලික විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකළ ශ්‍රවණාගර ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීම 2023 ජනවාරි මස 19 වන දින යාපනය රදගුරු, ගරු ආචාර්ය ජස්ටින් ඥානප්‍රකාශම් හිමිපාණන් ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

ශ්‍රී ලංකා නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, යාපනය මණ්ඩතිව් දූපතේ පිහිටි රෝමානු කතෝලික විද්‍යාල‍ය සඳහා අත්‍යාවශ්‍යව තිබූ මෙම ශ්‍රවණාගාර ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු උතුරු නාවික විධානයේ සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ තාක්ෂණික හා ශිල්පීය දායකත්වය යටතේ 2022 ඔක්තෝබර් මස 18 වන දින ආරම්භ කරන ලද අතර, ඒ සඳහා යාපනය, මණ්ඩතිව් ශාන්ත අන්තෝනි දේවස්තානය මඟින් මූල්‍යමය දායකත්වය දක්වන ලදි.

ඒ අනුව, මාස තුනක (03) ක් වැනි කෙටි කාලසීමාවක් තුලදී ඉදිකිරීම් කටයුතු අවසන් කරන ලද මෙම පාසල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත්කිරීම මෙලෙස 2023 ජනවාරි මස 19 වන දින සිදු කෙරුණි.

තවද, මෙම අවස්ථාව සඳහා මණ්ඩතිව් දූපතේ පිහිටි කතෝලික දේවස්ථානයේ පූජකතුමන්, නාවික අණභාර නිලධාරී (දූපත්) කොමදෝරු සිසිර දිසානයක, ශ්‍රී ලංකා නාවික නෞකා වේළුසුමන ආයතනයේ අණදෙන නිලධාරී, මණ්ඩතිව් රෝමානු කතෝලික විද්‍යාලයේ විදුහල්පති, ගුරු භවතුන්, සිසු දරුවන් ඇතුළු උතුරු නාවික විධානයේ නාවික පුද්ගලයන් සහ දෙමව්පියන් පිරිසක් ද සහභාගී වී සිටියහ.

අනුග්‍රහය - www.navy.lk