ගාල්ල ඓතිහාසික නගර සභා ගොඩනැගිල්ල යුද හමුදාව විසින්
ප්‍රතිසංස්කරණය කරයි

ජනවාරී 20, 2023

ඓතිහාසික වටිනාකමකින් යුත් ගාලු නගර සභා ශාලා ගොඩනැගිල්ල යුද හමුදාව විසින් ප්‍රතිසංස්කරණය කර අදාල බලධාරීන් වෙත පවරාදීම පසුගියදා අග්‍රාමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදී ජනතා අයිතියට පත් කරන ලදි.

2020 වර්ෂයේ දී ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය නගර සභාවේ මූල්‍ය අනුග්‍රහය ඇතිව 10 වන ඉංජිනේරු සේවා බළකායේ භටපිරිස් වල තාක්ෂණික සහ ශ්‍රම දායකත්වයෙන් ප්‍රතිසංස්කරණය කළ අතර ඒ සඳහා රුපියල් මිලියන 76ක් පමණ වැය වූ බව යුද හමුදා ආරංචි මාර්ග පවසයි.

ගාල්ල නගරාධිපතිවරයාගේ ඉල්ලීමකට අනුව යුද හමුදාපතිගේ උපදෙස් මත මෙම ව්‍යාපෘතිය සිදු කරන ලදි.

මෙම අවස්ථාව සඳහා ඉංජිනේරු සේවා බළකායේ කර්නල් සේනාවිධායක සහ ඉංජිනේරු සේවා අධ්‍යක්‍ෂ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී වූ බව යුද හමුදාව සඳහන් කළේය.