ආරක්‍ෂක ලේකම් USS Anchorage ඇමෙරිකානු නෞකාවේ නිරීක්‍ෂණ චාරිකාවක

ජනවාරී 20, 2023

ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න අද (ජනවාරි 20) කොළඹ වරායේ දී එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Anchorage’ නෞකාවේ සංචාරයක නිරත විය.

ශ්‍රී ලංකා ආරක්‍ෂක ලේකම්වරයා මෙම සංචාරය සඳහා පැමිණි අවස්ථාවේදී නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන් කීලර් ඩී.ජේ. (Captain KEELER, D.J) විසින් ඉතා උණුසුම් ලෙස පිළිගන්නා ලදි.

ජාතික ශිෂ්‍යභට බළකාය නියෝජනය කරනු ලබන ශිෂ්‍යභටයින් කණ්ඩායමක් ද මෙම විදේශීය නාවික හමුදා නෞකාව නැරඹීම සඳහා එක්විය.

සහයෝගීතාවය සූදානම සහ පුහුණුව පිළිබඳ ද්වීපාර්ශ්වික අභ්‍යාසයට (CARAT–2023)’ සහභාගි වීම සඳහා මෙම නෞකාව බ්‍රහස්පතින්දා (ජනවාරි 19) ශ්‍රී ලංකාවට පැමිණෙන ලදි.  
 
මෙම‌ ඇමෙරිකානු නෞකාව 27 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට පෙර ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් “ගජබාහු” සහ “සමුදුර” යන නෞකා සමඟ අභ්‍යාසවල නිරත වීමට නියමිතය.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, එක්සත් ජනපද තානාපති කාර්යාලයේ දූත මණ්ඩල නියෝජ්‍ය ප්‍රධානී ඩග්ලස් සොනෙක් (Douglas Sonnek), බටහිර නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා, ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී මේජර් ජෙනරල් දිනේෂ් නානායක්කාර, ජාතික ශිෂ්‍යභට බළකායේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් සුදන්ත ෆොන්සේකා, එක්සත් ජනපද ආරක්‍ෂක උපදේශක සෙත් නෙවින්ස් (Seth Nevins), ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන්, එක්සත් ජනපද තානාපති කාර්යාල නිලධාරීන් සහ නෞකාවේ කාර්ය මණ්ඩලය මෙම සංචාරය සඳහා එක්ව සිටියහ.