‘අපි වෙනුවෙන් අපි’ ව්‍යාපෘතිය හරහා රත්නපුර රණවිරු පවුලක
නිවාස සිහිනය සැබෑවක් විය

ජනවාරී 21, 2023

ආරක්‍ෂක අමාත්‍යාංශයේ ‘අපි වෙනුවෙන් අපි’ අරමුදල් යොදවා ඉදිකිරීම් නිම කරන ලද නිවසක් රත්නපුර, වේවැල්වත්ත, අළුපොල ප්‍රදේශයේ රණවිරු පවුලකට ප්‍රදානය කිරීම ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්නගේ සහභාගිත්වයෙන් අද (ජනවාරි 21) දින පැවැත්විණි.

අප මාතෘ භූමියේ නිදහස වෙනුවෙන් දිවි පිදූ ලාන්ස් කෝප්‍රල් ඩබ්ලිව් ධර්මරත්න රණවිරුවාගේ අර්ධ වශයෙන් ඉදිකරන ලද නිවසේ ඉදිකිරීම් ‘අපි වෙනුවෙන් අපි’ වැඩසටහන යටතේ මූල්‍ය ආධාර සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ 4 ඉංජිනේරු සේවා රෙජිමේන්තු භට පිරිස් හි ශ්‍රම දායකත්වයෙන්  සම්පූර්ණ කර එම ආදරණීය පවුලට ලබා දෙන ලදි.

රණවිරු ලාන්ස් කෝප්‍රල් ධර්මරත්න මහතාගේ බිරිඳ වන ඒ පී චමිලා මහත්මියට සහ පුත් තිමිර නිමේෂ් දළුවත්ත වෙත ආරක්‍ෂක ලේකම්වරයා විසින් සංකේතාත්මකව ඔවුන්ගේ නව නිවසේ යතුරු ප්‍රදානය කිරීම සහ නව නිවස විවෘත කිරීම මහා සංඝරත්නයේ ආගමික වතාවත් මධ්‍යයේ සිදුකරන ලදි.

6 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළකායේ රණවිරු ලාන්ස් කෝප්‍රල් ධර්මරත්න 2001 වසරේ වවුනියාව කෝවිල් පුලියන්කුලම් හිදී ත්‍රස්ත ප්‍රහාරයකින් තුවාල ලැබ ජීවිතක්ෂයට පත් විය.

ඒ අනුව ‘අපි වෙනුවෙන් අපි’ අරමුදල යටතේ අසරණ වූ එම රණවිරු පවුලට අර්ධ වශයෙන් ඉදිකරන ලද තම නිවස නිම කිරීමේ සිහිනය අද දිනයේ දී යථාර්ථයක් විය.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ ‘අපි වෙනුවෙන් අපි’ වැඩසටහන යටතේ ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට ඔවුන්ගේ නිවාස ඉදිකර ගැනීම සඳහා හෝ අර්ධ වශයෙන් ඉදිකරන ලද නිවාස සම්පූර්ණ කිරීම සඳහා, සම්පූර්ණ හා අර්ධ වශයෙන් ප්‍රදානයන් ලබා දෙන අතර ශ්‍රම දායකත්වය ආරක්ෂක හමුදාව විසින් සපයනු ලබයි.

මහා සංඝරත්නය, ආරක්‍ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් - පරිපාලන ගාමිණී මහගමගේ මහතා, යුද හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් සෙනරත් යාපා, ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධීකරණ නිලධාරී මේජර් ජෙනරල් දිනේෂ් නානායක්කාර, යුද හමුදා ගැමුණු රෙජිමේන්තුවේ සහ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ මධ්‍යස්ථාන සේනාවිධායකවරුන්, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් - පරිපාලන, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සහ රණවිරු පවුලේ  ඥාති හිතමිත්‍රාදීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.