රදැල්ලේදී අනතුරට පත් පුද්ගලයින් මුදාගැනීම සඳහා යුද හමුදා සහාය

ජනවාරී 23, 2023
  • රදැල්ල ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරලී යාමෙන් අනතුරට පත් බස් රථයේ සිටි පුද්ගලයින් මුදාගැනීම සඳහා 112 වන බලසේනාවේ භටපිරිස්හි සහයෝගය

කොළඹ, තර්ස්ටන් විද්‍යාලයේ 10 ශ්‍රේණියේ සිසුන් 41 දෙනෙකු, ගුරුවරුන් 8 දෙනෙකු සහ එම සිසුන්ගේ දෙමාපියන් රැගත් බස් රථයක් ඉකුත් සිකුරාදා (20) දින සවස 7.00 ට පමණ නුවරඑළිය - හැටන් මාර්ගයේ රදැල්ල ප්‍රදේශයේදී වෑන් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටීමෙන් අනතුරට ලක්වී එම බස් රථය අඩි 75 ක පමණ ප්‍රපාතයකට පෙරලි ගොස් ඇති අතර අනතුරට පත් මගීන් මුදාගැනීමේ කටයුතු සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත් 112 වන බලසේනාවේ භටපිරිස් යුහුසුළුව කටයුතු කළහ.

කාර්මික දෝෂයක් හේතුවෙන් බස් රථයේ රියදුරාට රථය පාලනය කරගත නොහැකිව මගීන් 7 දෙනෙක් රැගත් වෑන් රථයක සහ මගීන් 4 දෙනෙකු රැගත් ත්‍රිරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ. විනෝද චාරිකාවක් ගොස් ආපසු පැමිණෙමින් සිටි බස් රථයේ සිටි කොළඹ, තර්ස්ටන් විද්‍යාලයේ සිසුන් 40 දෙනෙකු පමණ මෙම අනතුරින් තුවාල ලබා නුවරඑළිය රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර එම සිසුන්ගේ තත්ත්වය බරපතල නොවන බව ද වාර්තා වේ.

අදාළ බස් රථය පාලනය කරගැනීමට නොහැකිව වෑන් රථයේ සහ ත්‍රිරෝද රථයේ ගැටීමෙන් අනතුරුව ප්‍රපාතයකට පෙරළී ගොස් ඇති බව වැඩිදුරටත් වාර්තා වේ. වෑන් රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයින් 7 දෙනෙකුගෙන් පුද්ගලයින් 6 දෙනෙක් සහ ත්‍රිරෝද රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයින් 4 දෙනෙකුගෙන් එක් අයෙකු නුවරඑළිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්‍ෂයට පත්ව ඇත.

මෙම අනතුර සිදුවන අවස්ථාවේදී 3 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් 20 කට අධික පිරිසක් සහ නිලධාරියෙකු සිවිල් වැසියන්ගේ සහයෝගය ඇතිව අනතුරට පත් පුද්ගලයින් ලඟම රෝහල වෙත රැගෙන යාමට අවශ්‍ය පියවර ගෙන තිබුණි. ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම ගේ සමීප අධීක්‍ෂණය සහ 112 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සුමින්ද දයාවංශ සහ 3 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් ඩබ්ලිව්.ජී.ටී.ඩබ්ලිව්.ඒ.එම්.ආර්.පී.එස්. බෝයගොඩ ගේ සම්බන්ධීකරණය මත භටපිරිස් විසින් මෙම මුදාගැනීමේ කටයුතු කඩිනමින් සිදුකරන ලදී.

අනුග්‍රහය - www.army.lk