CARAT - 2023 අභ්‍යාසයේ මුහුදු අදියර බටහිර නාවික විධාන මුහුදු තීරයේදී සාර්ථකව පැවැත්වේ

ජනවාරී 24, 2023

CARAT - 2023 ද්විපාර්ශ්වික අභ්‍යාසයේ මුහුදු අදියරට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු, ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර සහ ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Anchorage’ නෞකාව 2023 ජනවාරි මස 21 වන දින ‍කොළඹ වරායෙන් පිටත් වූ අතර, එම නෞකා මීගමුවට ඔබ්බෙන් වූ බටහිර නාවික විධාන මුහුදු තීරයේදී 2023 ජනවාරි මස 22 සහ 23 යන දිනයන්හීදී නාවික අභ්‍යාස රැසක් සාර්ථකව පැවැත්වීමට කටයුතු කෙරිණි.

මෙම CARAT - 2023 ද්විපාර්ශ්වික අභ්‍යාසයේ මුහුදු අදියරේදී සිදු කෙරෙන අභ්‍යාසයන් පිළිබඳව පාර්ශවකරුවන් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් 2023 ජනවාරි මස 20 වන දින ‘USS Anchorage’ නෞකාවේදී පැවැත්වූනු අතර, එහිදී මුහුදු අදියර සම්බන්ධයෙන් ඒ සඳහා සහභාගී වන නෞකාවන්ගේ අණදෙන නිලධාරීන්, ‘USS Anchorage’ නෞකාවට අනුයුක්ත ගුවන් නියමුවන් මෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් නියමුවන් අභ්‍යාසයේදී පණිවුඩ හුවමාරු කර ගැනීමේ ක්‍රමවේද, ආරක්‍ෂක වර්ගීකරණය ඇතුළු සම්මත ක්‍රියා පටිපාටීන් පිළිබඳ වෘත්තීය දැනුම හුවමාරු කර ගැනීම සිදු කෙරිණි.

ඒ අනුව, මීගමුවට ඔබ්බෙන් වූ බටහිර මුහුදු තීරයේදී 2023 ජනවාරි මස 22 සහ 23 යන දිනයන්හීදී ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු, ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර සහ ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS Anchorage’ යන නෞකාවන්, සංග්‍රාමික අවස්ථාවකදී යුද නෞකා උපායික පෙළ හැඩයන් ඔස්සේ ගමන් කිරීමේ අභ්‍යාස (Divisional Tactics - DIVTACs), නෞකා යාත්‍රා කරමින් තිබියදී එම නෞකා පරික්‍ෂා කිරීම සඳහා සිදු කරනු ලබන නෞකා හා යාත්‍රා වෙත ප්‍රවිශ්ඨ වීම සෝදිසි කිරීම හා අත්අඩංගුවට ගැනීමේ අභ්‍යාස (Visit Board Search & Seizure - VBSS), නෞකා අතර මුහුදේදී භාණ්ඩ හුවමාරුව සඳහා නෞකා සූදානම් වීම (Replenishment at Sea - RAS), ගුවන් ආවේක්‍ෂණ මෙහෙයුම් (Overhead Reconnaissance), දිවා සහ රාත්‍රී වෙඩි තැබීමේ පුහුණු අභ්‍යාස (Gunnery Exercises-GUNEX) යන අභ්‍යාසයන් සාර්ථකව සිදු කරන ලදී.

එමෙන්ම, ‘USS Anchorage’ නෞකාවට අනුයුක්ත හෙලිකොප්ටර් යානා මඟින් CARAT - 2023 අභ්‍යාසයේ මුහුදු අදියර සඳහා සහභාගී වූ නෞකා අතර භාණ්ඩ හා පිරිස් හුවමාරු කර ගැනීමේ අභ්‍යාස මෙන්ම, හෙලිකොප්ටර් යානා මඟින් නෞකා හා යාත්‍රා වෙත ප්‍රවිශ්ඨ වීම සෝදිසි කිරීම හා අත්අඩංගුවට ගැනීමේ අභ්‍යාසද (Helicopter Visit, Board, Search and Seizure - HVBSS) සාර්ථකව සිදු කෙරුණි.

තවද, හෙලිකොප්ටර් යානාද උපයෝගි කර ගනිමින් සිදු කරනු ලබන නෞකා හා යාත්‍රා වෙත ප්‍රවිශ්ඨ වීම සෝදිසි කිරීම හා අත්අඩංගුවට ගැනීම සම්බන්ධ මෙවැනි අභ්‍යාස මඟින් හුවමාරු කර ගන්නා න්‍යායික හා ප්‍රායෝගික දැනුම සහ අත්දැකීම් මඟින්, ශ්‍රී ලංකා නාවික හමුදාවට ඉදිරි‍යේදී සාගර කලාපයේ පොදු අභියෝග සාමූහිකව ජය ගැනීමට මෙන්ම, මෙරට සාගරික කලාපය ඔස්සේ සිදු කෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු නීතිවිරෝධි කටයුතු මැඩ පවත්වා ස්ථායී සාගර කළාපයක් නිර්මාණය කිරීමට මහඟු පිටුවහලක් ගෙන දෙනු ඇත.

අනුග්‍රහය: www.navy.lk