යුද්ධ හමුදා සාමාජිකයන්ගේ මූලිකත්වයෙන් රුධිර පරිත්‍යාග වැඩසටහනක්

ජනවාරී 25, 2023

පනාගොඩ, ශ්‍රී බෝධිරාජාරාම පරිශ්‍රයේදී පසුගිය සඳුදා (23) දින පැවති ලේ දන්දීමේ වැඩසටහන සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 300 දෙනෙකු ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වී අවශ්‍යතා සහිත රෝගීන් වෙනුවෙන් ලේ දන්දීමේ සමාජ සත්කාරක වැඩසටහනකට සක්‍රීයව දායක වෙමින් ඒ වෙනුවෙන් සිය රුධිර සංචිතයන් ලබා දුන්හ.

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල විසින් ලබාදුන් මාර්ගෝපදේශයන්ට අනුව එළඹෙන 75 වන නිදහස් දිනයට සමගාමීව සංවිධානය කරනු ලැබූ මෙම රුධිර පරිත්‍යාග වැඩසටහන නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය සමඟ සමීප සහයෝගයෙන් යුතුව ක්‍රියාත්මක කරනු ලැබීය.

රුධිර පරිත්‍යාග වැඩසටහන ක්‍රියාත්මක වන අවස්ථාවේදී එම පරිශ්‍රය වෙත සපැමිණි ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර එම පරිශ්‍රයේ සිටි වෛද්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් සහ පරිත්‍යාගශීලී යුද්ධ හමුදා සාමාජිකයන් සමඟින් සුහද පිළසඳරක ද නිරත විය.

මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන, බ්‍රිගේඩියර් මාණ්ඩලික ප්‍රධානි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත සේනාංක, බලසේනා, රෙජිමේන්තු මධ්‍යස්ථාන සහ ඒකක යටතේ සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසුනිලයින් ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 300 දෙනෙකු මෙම වැඩසටහන සඳහා සහභාගී වී ස්වේච්ඡාවෙන් සිය රුධිරය පරිත්‍යාග කරනු ලැබූහ.

අනුග්‍රහය: www.army.lk