ජාතික නිදහස් පාපැදි සවාරියේ ජයග්‍රහණය යුද හමුදාවට

පෙබරවාරි 09, 2023

ජනාධිපති ලේකම් කාර්යාලය විසින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශය සහ ක්‍රීඩා අමාත්‍යාංශය සමඟ එක්ව පසුගියදා සංවිධානය කරන ලද 75 වැනි ජාතික නිදහස් දින පාපැදි සවාරියේ සමස්ත ශූරතාව ශ්‍රී ලංකා යුද හමුදා පාපැදිකරුවන් විසින් හිමිකර ගන්නා ලදි.

දිවයින පුරා සිටින පාපැදිකරුවන් 100 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් කිලෝමීටර් 571.5 ක පමණ දුරක් ආවරණය කරමින් පැවති මෙම පාපැදි සවාරිය ජනවාරි 31 වැනිදා පේදුරුතුඩුවෙන් ආරම්භ වූ අතර, මැදවච්චිය, මිහින්තලේ, මහියංගනය සහ වැල්ලවාය පසුකර දිවයිනේ පළාත් කිහිපයක් ආවරණය කරමින් පෙබරවාරි 3 වැනි දින ගමනාන්තය වන මාතර දක්වා ළඟාවූ බව යුද හමුදා ආරංචි මාර්ග සඳහන් කළේය.

පුද්ගලික දක්‍ෂතාවයන්ට අමතරව කණ්ඩායම් ශූරතාවලිය සඳහා අධිෂ්ඨානය සහ ධෛර්යය සමස්ත ඉසව්ව පුරාම ප්‍රදර්ශනය වූ මෙම පාපැදි සවාරිය, යුද හමුදා පාපැදි කමිටුවේ සභාපති සහ විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්‍ෂ ජෙනරාල්, මේජර් ජෙනරල් රන්ජන් ජයසේකරගේ අධීක්‍ෂණය යටතේ පැවැත්වූ බව යුද හමුදාව වැඩිදුරටත් පැවසීය.