බලපත්‍ර නොමැතිව ළඟ තබාගෙන ඇති තුවක්කු රජයට භාරදීම සඳහා කාලසීමාවක් ප්‍රකාශයට පත්කිරීම

පෙබරවාරි 11, 2023

ආරක්ෂක අමාත්‍යාංශයේ ලිඛිත අවසරයක් (බලපත්‍රයක්) නොමැතිව ලඟ තබාගෙන සිටින සියළුම බලපත්‍ර රහිත තුවක්කු රජයට භාරදීම සඳහා 2023 පෙබරවාරි මස 06 වන දිනැති අංක 2318/02 දරණ ගැසට් පත්‍රය මඟින් 2023.02.06 සිට 2023.03.15 දින දක්වා කාලසීමාවක් ප්‍රකාශයට පත්කර ඇත.

මෙම කාලය තුලදී සන්තකයේ තබාගෙන ඇති සියළුම බලපත්‍ර රහිත තුවක්කු ළඟම පිහිටි පොලිස් ස්ථානය වෙත භාරදිය යුතුය. එලෙස බලපත්‍ර රහිත තුවක්කු භාරදෙන කිසිඳු අයෙකුට එරෙහිව බලපත්‍රයක් රහිතව තුවක්කුවක් සිය භාරයේ තබාගැනීමේ වරද සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක නොකරනු ඇත.

මෙම කාලය අවසා‍නයේ පොලීසිය විසින් බලපත්‍ර රහිත තුවක්කු අත්අඩංගුවට ගැනීම සදහා දීප ව්‍යාප්ත මෙහෙයුමක් ආරම්භ කර, එවැනි තුවක්කු සන්තකයේ තබාගෙන සිටින අයවළුන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ඇත.

බලපත්‍ර රහිත තුවක්කු ළඟ තබාගෙන අත්අඩංගුවට පත්වීම හා නඩු පැවරීම වළක්වා ගැනීම සඳහා මෙම කාලය ප්‍රයෝජනයට ගන්නා ලෙස අදාල තුවක්කු ළග තබාගෙන සිටින සියලුම පුද්ගලයින්ට ශ්‍රී ලංකා රජය අවධාරණය කරයි.

මේ සඳහා වැඩිදුර විස්තර ලබාගැනිමට අවශ්‍ය වේ නම් ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සිවිල් ආරක්ෂක හා සංවර්ධන) ඩී.එම්. සමන් දිසානායක මහතා සමඟ සම්බන්ධ වී ලබාගත හැක. (දු.අ. 011-2335792)