‘කොළඹ නාවික අභ්‍යාසය - CONEX 2023’ ආරම්භ වේ

පෙබරවාරි 11, 2023

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පස්වන වරටත් සංවිධානය කරනු ලබන ‘කොළඹ නාවික අභ්‍යාසය - 2023’ (Colombo Naval Exercise - CONEX 23) 2023 පෙබරවාරි මස 06 වන දින ආරම්භ කෙරුණු අතර, එය 2023 පෙබරවාරි මස 13 වන දින දක්වා බටහිර නාවික විධානයට අයත් මුහුදු තීරය ආශ්‍රිතව පැවැත්විමට කටයුතු සුදානම් කර ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කාර්යක්‍ෂමතාවය අඛණ්ඩව පවත්වා ගැනීමේ අරමුණෙන් වාර්ෂිකව පවත්වනු ලබන මෙම පුහුණු අභ්‍යාසය වරාය අධියර සහ මුහුදු අධියර වශයෙන් අධියර දෙකකින් යුක්ත වේ. ඒ අනුව, 2023 පෙබරවාරි මස 06 වන දින ආරම්භ කෙරුණු වරාය අධියරේදී මෙම අභ්‍යාසයට අදාළව පණිවිඩ හුවමාරු ක්‍රම සහ ආරක්‍ෂක ක්‍රමවේදයන් පිළිබඳව අභ්‍යාසයට සහභාගීවන නෞකා හා යාත්‍රා කාර්යය මණ්ඩල සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා කාර්යය මණ්ඩල දැනුවත් කිරීම හා දැනුම හුවමාරු කරගැනීම සිදුකෙරිණි.

මෙම අභ්‍යාසයේ මුහුදු අධියර ආරම්භක අවස්ථාව 2023 පෙබරවාරි මස 09 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාව මතදී නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක ගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, එම අවස්ථාව සඳහා බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා, ධජ නිලධාරී නාවික දියත් විධානය, රියර් අද්මිරාල් නිශාන්ත අමරෝස ඇතුළු නාවික හමුදා මූලස්ථානය, බටහිර නාවික විධානය හා නාවික හමුදා දියත් විධානයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ. තවද, මෙම අභ්‍යාසයේ මුහුදු අධියර සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් සයුරළ, සයුර, ගජබාහු, නන්දිමිත්‍ර, විජයබාහු, මිහිකත සහ ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් සමුද්‍රාරක්‍ෂා ‍යන නෞකාවන් මෙන්ම, ශ්‍රී ලංකා නාවික හමුදා හතරවන වේග ප්‍රහාරක බලඝණයට අයත් පී 4443, පී 4445, පී 437 සහ පී 435 යන වේග ප්‍රහාරක යාත්‍රාවන් ද මේ සඳහා එක් වේ.

ශ්‍රී ලංකාවට අයත් සාගර කළාපය ඔස්සේ සිදුවන සාම්ප්‍රදායික නොවන සමුද්‍රීය අභියෝග මැඩ පවත්වා ස්ථායී සාගර කලාපයක් නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා බලඇණියේ මෙහෙයුම් සූදානම සහ මෙහෙයුම් කාර්යක්ෂමතාවය අපේක්ෂිත මට්ටමට පවත්වා ගැනීමත්, ඉදිරියේදී නාවික හමුදා නෞකාවන් කලාපීය හා කලාපීය නොවන නාවික හමුදාවන් හා එක්ව සිදු කරනු ලබන නාවික අභ්‍යාසයන් සඳහා සහභාගී වීමට අවශ්‍ය දැනුම හා කුසලතා වර්ධනය කිරීමත්, ශ්‍රී ලංකාවට අයත් සෙවිම් සහ මුදවා ගැනීම් කලාපයේ සිදු කරනු ලබන සෙවීමේ සහ මුදවා ගැනීමේ මෙහෙයුම් හා නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීමේ මෙහෙයුම් ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා එක්ව සිදු කිරීමේදී අවශ්‍ය අන්තර් ක්‍රියාකාරීත්වය වර්ධනය කිරීමත් නාවික හමුදාව විසින් වාර්ෂිකව පවත්වනු ලබන ‘කොළඹ නාවික අභ්‍යාසය’ මඟින් අපේක්ෂා කෙරේ.

අනුග්‍රහය - www.navy.lk