දිවයින පුරා පිහිටි යුද්ධ හමුදා ගොවිපලවල එළවළු සහ වී අස්වැන්න නෙලීම
ආරම්භ කරයි

පෙබරවාරි 11, 2023

රජයේ ආහාර සුරක්ෂිතතා වැඩසටහනට සහය දැක්වීම සඳහා යුද්ධ හමුදාව විසින් පාලනය කරනු ලබන දිවයින පුරා පිහිටි ගොවිපළවල්වල දැනට මාස කිහිපයකට පෙර වගා කරන ලද මහ කන්නයේ වී අස්වැන්න සහ එළවළු ඵළදාව නෙලීමේ කටයුතු ආරම්භ කරන ලදී.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ උපදෙස් මත පිහිටුවන ලද හරිත කෘෂිකර්ම මෙහෙයුම් කමිටුව සමඟ සමීප සම්බන්ධිකරණයෙන් යුතුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ භටපිරිස් විසින් පසුගිය දින කිහිපයේ දී පාන්ගොල්ල, ඩයගම, රිදියගම, මැණික්ෆාම්, වීරවිල සහ ඉරණමඩු ප්‍රදේශයන්හි පිහිටි යුද්ධ හමුදා ගොවිපලවල් වලින් වී අස්වනු නෙලිමේ කටයුතු ආරම්භ කරන ලදී. අද වන විට හමුදා ගොවිපළවල් වලින් මෙට්‍රික් ටොන් 120.3 ක වී අස්වැන්නක් භට පිරිස් විසින් නෙලාගෙන ඇත.

2021 ජනවාරි මස 4 වන දින විධිමත් ලෙස පිහිටුවන ලද ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකාය එම බලකායේ කර්නල් සේනාවිධායක සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් මූල්‍ය කළමනාකරණ මේජර් ජෙනරල් ශිරාන් අබේසේකරගේ මඟපෙන්වීම යටතේ කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් අරෝෂ රාජපක්‍ෂ ගේ අධීක්‍ෂණය යටතේ දැනට දිවයින පුරා ස්ථාපිත යුද්ධ හමුදා ගොවිපලවල් 19 ක සාර්ථකව වගා කටයුතු සිදුකරනු ලබයි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකාය විසින් දේශීය සහ සාමාන්‍ය වී වර්ග, කැරට්, වට්ටක්කා, වම්බටු, බඩ ඉරිඟු, රාබු යනාදිය වගා කිරීම දැනටමත් ආරම්භ කර ඇති අතර, කිරි නිෂ්පාදන, කුකුල් මස් සහ බිත්තර යුද්ධ හමුදා සාමාජිකයින්ට සහ සිවිල් ජනතාවට සහනදායි මිළ ගණන් යටතේ අළෙවි කරනු ලබයි.

අනුග්‍රහය - www.army.lk