යාපනයේ තරුණයින් සඳහා වෙරළ වොලිබෝල් පුහුණු සැසියක්

පෙබරවාරි 16, 2023

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයට අයත් යුද හමුදා භට පිරිස් විසින් යාපනය අර්ධද්වීපයේ, නැඟෙනහිර වඩමාරච්චි ප්‍රදේශයේ තරුණ තරුණියන් සඳහා වෙරළ වොලිබෝල් පුහුණු සැසියක් පසුගියදා තලයිඩි වෙරළ තීරයේදී පවත්වන ලදි.

යුද හමුදා වෙරළ වොලිබෝල් පුහුණුකරුවන් සහ ප්‍රවීණ සිවිල් පුහුණුකරුවන් විසින් මෙහෙයවන ලද මෙම පුහුණු සැසිය සඳහා ක්‍රීඩා සමාජ 15ක සාමාජිකයින් සහභාගී වූ බව යුද හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.

553 පාබල බලසේනාවේ 10 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ සහ 12 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් මෙම වැඩසටහන සංවිධානය කළ බව යුද හමුදා මාධ්‍ය වාර්තා කළේය.

55 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න ගුණරත්න, යුද හමුදා නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.