හොඳම නෞකාව ලෙස නාවික නෞකා සිඳුරළ නම් කෙරේ

පෙබරවාරි 16, 2023

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් වාර්ෂිකව පවත්වනු ලබන හොඳම නෞකා තේරීමේ තරඟයේදී 2022 වසරේ හොඳම නෞකාව ලෙස ශ්‍රී ලංකා නාවික නෞකා ‘සිඳුරළ’ තේරී පත් විය. නාවික හමුදා මාධ්‍ය මූලාශ්‍රවලට අනුව, ශ්‍රී ලංකා නාවික නෞකා සිඳුරළ, ශ්‍රී ලංකා නාවික නෞකා මිහිකත සහ පී 414 යන නෞකාවන් පිළිවෙලින් ප්‍රධාන සහ කුඩා  සහ වේග ප්‍රහාරක යාත්‍රා කාණ්ඩවල ඉහළම දක්‍ෂතා දැක්වූවන් ලෙස නම් කර ඇත.  

වාර්ෂික පවත්වන මෙම තරඟය නාවික හමුදාව සතු නෞකා අතරින් හොඳම නෞකාව, හොඳම කුඩා නෞකාව සහ හොඳම වේග ප්‍රහාරක යාත්‍රාව තෝරා පත් කරගැනීම සඳහා පවත්වනු ලැබේ. සෑම යාත්‍රාවක්ම සහ එහි කාර්ය මණ්ඩලය නැව් මුළුවේ නාවික දැනුම, කඹ හැසිර වීම සහ මුහුදු මාර්ග නීති පිළිබඳ දැනුම, ක්‍රියාකාරී මුහුදු පුහුණු ඇගයීම සහ අන්තර් නෞකා ක්‍රීඩා තරඟවලදී ලබාගන්නා ජයග්‍රහණ යන කරුණු පදනම් කර ගනිමින් හොඳම නෞකාවන් සහ වේග ප්‍රහාරක යාත්‍රාව ‍නම් කිරීමට කටයුතු කෙරෙන බව එහි සඳහන් වේ.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා විසින් පසුගියදා (පෙබ. 13) පැවති උත්සවයකදී නෞකා දෙකෙහි අණදෙන හා අණභාර නිලධාරීන් වෙත සමරු ඵලක ප්‍රදානය කරන ලද බව එහි වැඩිදුරටත් සඳහන් වේ.

මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක,  ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ඇතුළු ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන් ද එක්ව සිටියහ.