ආරක්‍ෂක ලේකම් වාර්ෂික ‘CISM DAY’ RUN - 2023 සඳහා සහභාගී වේ

පෙබරවාරි 18, 2023

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මෙම වසරේ සංවිධානය කරන ලද ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිල දින ධාවනය අද (පෙබ 18) උදෑසන ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් කොළඹ රයිෆල් ග්‍රීන් පිටියේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ විසින් ආරක්‍ෂක ලේකම්වරයා එම ස්ථානයට පැමිණි අවස්ථාවේදී පිළිගනු ලැබීය.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුධ සහ නාවික හමුදාපතිවරුන්, ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ ආබාධිත රණවිරුවන් ඇතුළු හමුදා සාමාජිකයින් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම වාර්ෂික උත්සවය පැවැත්විණි.

තවද 1948 වසරේ පෙබරවාරි 18 වැනි දින ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලය ආරම්භ කිරීමෙන් පසු වසර 75ක් සපිරෙන මෙම වසර සුවිශේෂී වසරකි.

ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලය විසින් ලොව පුරා සන්නද්ධ හමුදා සාමාජිකයින් සඳහා විවිධ ක්‍රීඩා ඉසව් සංවිධානය කරයි. එය ක්‍රීඩා පිටියේදී විවිධ රටවල හමුදා නිලධාරීන් අතර මිත්‍රත්වය සහ සුහදත්වය ශක්තිමත් කරයි.

ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිල දින ධාවන තරඟ සමාප්තියේදී ජෙනරල් ගුණරත්න අනෙකුත් හමුදා ප්‍රධානීන් සමඟ එක්ව සහභාගී වූවන් වෙත සහතික පත් ප්‍රදානය කරන ලදී.