‘සේනාවිධායකවරුන් සඳහා වූ දකුණු ආසියානු ජාත්‍යන්තර සමුළුව - 2023’ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේදී පැවැත්වෙයි

පෙබරවාරි 18, 2023

ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය සහ එක්සත් රාජධානියේ ආරක්‍ෂක විද්‍යාලය ඒකාබද්ධව සංවිධානය කරනු ලැබූ වෘත්තීය හමුදා අධ්‍යනයේ වත්මන් සන්දර්භයන් සහ අනාගත අපේක්‍ෂාවන් පිළිබඳ සුවිශේෂී දර්ශනයන්ගෙන් සමන්විත ‘සේනාවිධායකවරුන් සඳහා වූ දෙවන දකුණු ආසියානු ජාත්‍යන්තර සමුළුව - 2023’ පෙබරවාරි මස 14 දින සිට 15 දින දක්වා සපුගස්කන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේදී පැවැත්විණි.

වෘත්තීය හමුදා අධ්‍යනයේ සමකාලීන අංගයන් සහ අන්‍යෝයන්‍ය අවශ්‍යතාවයන් හා සම්බන්ධ කරුණු කෙරෙහි සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම පිළිබඳ අදහස් හුවමාරු කරගැනීමේ අරමුණින් මෙම සමුළුව පැවැත්විණි. ‘21 වන සියවසේ අධ්‍යාපනය ලබාදීම’, ‘අනාගත අධ්‍යාපනික ක්‍රමවේදයන්’, ‘ඩිජිටල්කරණය, ‘Generation Z’ අධ්‍යාපනික ක්‍රමවේදය’, ‘දරාගැනීමේ හැකියාව, ආර්ථික අර්බුදය’, ‘පර්යේෂණ කේන්ද්‍රස්ථානය සහ අභියෝගාත්මක යාවත්කාලීන කිරීම්’ සහ ‘වෘත්තීය හමුදා අධ්‍යනයේ ආචාර ධර්ම’ ආදී කරුණු පිළිබඳව මෙම සමුළුවේදී විවිධ රටවල් නියෝජනය කරමින් සහභාගි වූ සේනාවිධායකවරුන් සහ එක්සත් රාජධානියේ බුද්ධිමතුන් කිහිපදෙනෙකු අදහස් හුවමාරු කරගත්හ.

සමුළුවේ සමාරම්භය සනිටුහන් කරමින් ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ පිළිගැනීමේ දේශනය සිදුකිරීමෙන් අනතුරුව ලලිත් වීරතුංග මහතා විසින් “වෘත්තීමය හමුදා අධ්‍යාපනය වැදගත් වන්නේ ඇයි? වෘත්තීමය හමුදා අධ්‍යාපනය පිළිබඳ විශ්ලේෂණය හා කලාපීය දැක්ම” තේමාව ඔස්සේ ප්‍රධාන දේශනය පවත්වන ලදී.

එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ ලලිත් වීරතුංග මහතා “වත්මන් නායකයින් තම යටත් පිරිසට නායකත්වය ලබාදෙන්නේ ඔවුන්ගේ තනතුරේ ස්වභාවය මත නොව අනාගතයේ විශාල ඉලක්කයන් සපුරාගැනීම සඳහා තමන්ටම අභියෝග කරගැනීමට තම සේවකයින් පොළඹවා ගනිමින්. දූරදර්ශී සමාගම් විශිෂ්ඨ වූ ක්‍රමවේදයන්ට අනුගතවීම තුලින් සාර්ථකත්වය කරා ලඟාවීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරනවා. නායකයෙකු ලෙස, ඔබ මෙහෙයවන සේවකයින් අභිබවා යා හැකි දැක්මක් ඔබ සතුව තිබිය යුතුයි. කෙසේ වෙතත්, ඔබ සතු දැක්ම ඵලදායී ලෙස ක්‍රියාවට නැංවිය නොහැකිනම්, ඔබේ යටත් පිරිස ඔබට අවශ්‍ය තත්ත්වය කරා ලඟාවීමට මෙහෙයවිය නොහැකියි. මේ තුලින් තරුණ නිලධාරීන්ට ඕනෑම අභියෝගාත්මක තත්ත්වයකට සාර්ථකව මුහුණදීමට ඇති හැකියාව වර්ධනය කරගත හැකියි. වත්මන් නායකයින් අස්ථාවර, අවිනිශ්චිත, සංකීර්ණ සහ අපැහැදිලි තත්ත්වයන් තුළ ප්‍රකෘතිමත්ව කටයුතු කිරීමට අපේක්‍ෂාවෙන් සිටියි. ආයතනයන් තුළ ඇල්මැති පාර්ශ්වකරුවන්ගේ සබඳතා සහ ක්‍රියාවලීන් වඩාත් ගතික සහ අනපේක්‍ෂිත බවට පත්ව ඇත. සංකීර්ණ ලෝකයේ සාර්ථක පුද්ගලයෙකු වීමට නම්, සන්නද්ධ සේවා සාමාජිකයෙකු ලෙස තමන් වටා ඇති වෙනස්වන ප්‍රවණතාවයන් කෙරෙහි නිරන්තරයෙන් අවධානය යොමුකරමින් ඒ වෙනුවෙන් පෙර සූදානමක් වශයෙන් උපක්‍රමශීලී සැලසුම් සකස්කළයුතු අතර ඒ තුලින් නම්‍යශීලීව සහ ස්ථාවරව පැවතීමට හැකියි” යනුවෙන් පෙන්වා දුන්නේය.

මෙම සමුළුව සඳහා මේජර් ජෙනරල් එම්.ඩී. ෆයිසර් රහුමාන්, මේජර් ජෙනරල් අමීර් අෂාන් නවාස් (විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සහභාගී විය), මේජර් ජෙනරල් ලසන්ත රෝද්‍රිගෝ, මේජර් ජෙනරල් ඇන්ඩෲ රෝ සහ බ්‍රිගේඩියර් ජෙනරල් වහීඩ් වයිස් යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් බංගලාදේශය, පාකිස්ථානය, ශ්‍රී ලංකාව, එක්සත් රාජධානිය සහ මාලදිවයින යන රටවල මාණ්ඩලික විද්‍යාලයන් නියෝජනය කරමින් සහභාගී වූහ. දකුණු ආසියානු හමුදා මාණ්ඩලික විද්‍යාලයන් තුළ වෘත්තීමය හමුදා අධ්‍යාපනය යන විෂය ක්ෂේත්‍රයෙහි පවතින අන්‍යෝන්‍ය සහයෝගීතාවය වඩාත් ශක්තිමත් කිරීම තහවුරු කරමින් දින දෙකක් පුරා පැවති ‘සේනාවිධායකවරුන් සඳහා වූ දෙවන දකුණු ආසියානු ජාත්‍යන්තර සමුළුව - 2023’ සඳහා සහභාගී වූ ජ්‍යෙෂ්ඨ නිලධාරින් අතර සමරු තිළිණ හුවමාරු කරගැනීමෙන් අනතුරුව සමාප්ත විය.

අනුග්‍රහය - www.army.lk