මාලි රාජ්‍යයේ සාමසාධක මෙහෙයුම් වල නිරතව සිට අභාවප්‍රාප්ත වූ
රණවිරුවාගේ දේහය මෙරටට රැගෙන එයි

පෙබරවාරි 23, 2023

මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිභාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) සාමසාධක රාජකාරින්හි නිරතව සිටියදී ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වූ 6 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ ලාන්ස් කෝප්‍රල් එම්.ජී.එල් දේශප්‍රිය (42) ගේ දේහය බදාදා (පෙබරවාරි 22) දින මෙරටට රැගෙන එනු ලැබීය. අනතුරුව දේහය එම රණවිරුවාගේ ඒකකයේ භටපිරිස් විසින් හමුදා ගෞරවාචාර මධ්‍යයේ පිළිගනු ලැබීය.

කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී, එක්සත් ජාතීන්ගේ ධජයෙන් ආවරණය කරන ලද කෝප්‍රල් එම්.ජී.එල් දේශප්‍රිය ගේ මෘත දේහය යුද්ධ හමුදාධිපතිතුමන් නියෝජනය කරමින් 4 වන සංග්‍රාමික රථ ආරක්‍ෂක ඛණ්ඩයේ සැපයුම් හා ප්‍රවාහන කටයුතු භාර නිලධාරි ලුතිනන් කර්නල් එච්.එම්.ඩබ්ලිව්.ආර් හේරත් විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ කර්නල් සේනාවිධායක සහ යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරල් හිරෝෂ වනිගසේකර වෙත භාරදෙනු ලැබීය.

එහිදී, හමුදා ගෞරවාචාර මධ්‍යයේ පැවති පෙළපාලියෙන් අනතුරුව ලුතිනන් කර්නල් එච්.එම්.ඩබ්ලිව්.ආර්. හේරත් වෙත එක්සත් ජාතීන්ගේ ධජය භාරදීම සිදුකෙරුණු අතර, යුද්ධ හමුදා භටපිරිස් විසින් දේහය නිල වශයෙන් භාරගැනීම සිදුකෙරිණි.

හමුදා ක්‍රියාපටිපාටියට අනුව ජාතික කොඩියෙන් ආවරණය කරන ලද දේහය යුද්ධ හමුදා භටපිරිස් විසින් නිල වශයෙන් භාරගැනීම තහවුරු කරන ලද අතර, දේහය පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා මීගමුව රෝහල වෙත රැගෙන යනු ලැබීය. මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිභාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) සාමසාධක රාජකාරින්හි නිරතව සිටියදී අභාවප්‍රාප්ත වූ ලාන්ස් කෝප්‍රල් එම්.ජී.එල් දේශප්‍රිය ගේ අවසන් කටයුතු ඔහුගේ උපන් ප්‍රදේශය වන වරකාපොළ දී හමුදා ගෞරවාචාර මධ්‍යයේ සිදුකිරීමට නියමිතව ඇත.

උපුටා ගැනීම - www.army.lk