පාකිස්ථාන නාවික හමුදා ප්‍රධානී ආරක්‍ෂක ලේකම් හමුවෙයි

පෙබරවාරි 27, 2023

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා පැමිණ සිටින පාකිස්ථාන නාවික හමුදා ප්‍රධානී අද්මිරාල් මුහම්මද් අම්ජාඩ් ඛාන් අද (පෙබ 27) ශ්‍රී ජයවර්ධනපුර ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.

ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදාවන් වෙනුවෙන්, ආරක්‍ෂක ලේකම් විසින් ජෙනරල් ගුණරත්න අද්මිරාල් ඛාන් ප්‍රමුඛ පාකිස්ථානු නාවික දූත පිරිස ආරක්‍ෂක අමාත්‍යාංශයේදී උණුසුම් ලෙස පිළිගත් අතර එහිදී වැදගත් මාතෘකා රැසක් සංවාදයකට ලක් කරන ලදි.

යහපත් මෙන්ම දුෂ්කර අවස්ථාවන්හිදී පාකිස්ථානය මෙරට සමඟ අඛණ්ඩව පවත්වාගෙන යන දිගුකාලීන මිත්‍ර සම්බන්ධතාවය පිළිබඳව සිහිපත් කල ජෙනරල් ගුණරත්න, දෙරට අතර පුහුණු අවස්ථා තවදුරටත් වර්ධනය කර ගැනීමට සහතික විය.

ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය පුරාවටම ලැබුණු උණුසුම් සත්කාර අගය කළ අද්මිරාල් ඛාන් දෙරට අතර පවතින සහයෝගීතාව තවදුරටත් ශක්තිමත්ව පවත්වාගෙන යාමේ වැදගත්කම අවධාරණය කළේය.

තවදුරටත් ඔහු සදහන් කළේ පසුගිය කාලය තුළ පාකිස්ථානය වෙතින් මෙරටට ලබා දුන් සහයෝගය ඉදිරියේදීත් අඛණ්ඩව ශ්‍රී ලංකාව වෙත ලබා දෙන බවයි.

එම අවස්ථාව සනිටුහන් කරමින් ආරක්‍ෂක ලේකම් සහ පාකිස්ථාන නාවික හමුදා ප්‍රධානී අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරී මේජර් ජෙනරල් දිනේෂ් නානායක්කාර සහ ශ්‍රී ලංකාවේ පාකිස්ථාන ආරක්‍ෂක උපදේශක කර්නල් මුහම්මද් සෆ්දාර් ඛාන් ද මෙම අවස්ථාවට සහභාගී විය.