රුසියානු තානාපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි

මාර්තු 01, 2023

ශ්‍රී ලංකාව සඳහා පත් කරන ලද නව රුසියානු තානාපති අතිගරු  Levan S. Dzhagaryan මැතිතුමා අද (මාර්තු 01)දින ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේදී ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත ප්‍රථම වරට පැමිණි නව රුසියානු තානාපතිවරයා ඇතුළු දූත පිරිස ජෙනරල් ගුණරත්න විසින් උණුසුම් ලෙස පිළිගැනීමෙන් අනතුරුව දෙපාර්ශවය අතර කෙටි සාකච්ඡාවක් සිදුකෙරිනි.

දෙරට අතර අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් ද්විපාර්ශවික සහයෝගිතාව පිළිබඳ කරුණු මෙම හමුවේදී ජෙනරල් ගුණරත්න සහ නව තානාපතිවරයා අතර සාකච්ඡා කරන ලදි.

අතිගරු Dzhagaryan මැතිතුමා  පසුගිය  නොවැම්බර් 11 වෙනිදා ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා හමුවී නව රුසියානු තානාපතිවරයා ලෙස සිය අක්තපත්‍ර ලබාගන්නා ලදි.

මෙම හමුවීම සනිටුහන් කරමින් ආරක්‍ෂක ලේකම්වරයා සහ රුසියානු තානාපතිවරයා අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධතා නිලධාරි සහ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශකවරයා ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.