ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිය 72 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි

මාර්තු 02, 2023

දශක හතක සාඩම්බර ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත මේ වනවිට ගුවන් හමුදාපතිවරු 17දෙනෙකු විසින් අණදීම සිදුකර ඇති අතර 18 වන ගුවන් හමුදාපතිවරයා ලෙස වත්මන් ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ අණදීම සිදු කරයි. ශ්‍රී ලංකා ගුවන් හමුදාව humble Chipmunk සහ de Havilland DC 1 ගුවන් යානා මගින් සිදුකළ ප්‍රථම ගුවන් ගමනේ සිට මේ වනවිට Mig 27s, Kfir C7s, සහ F-7s යානා දක්වා බොහෝ දුරක් පැමිණ ඇත. 70 දශකය වනවිට සාම්ප්‍රදායානුකූල ගුවන් හමුදාවක් ලෙස පැවති ශ්‍රී ලංකා ගුවන් හමුදාව 21 වන සියවස වන විට සාර්ථක හා සටන්කාමී නවීන ගුවන් හමුදාවක් බවට පරිවර්තනය වී ඇත.

ශ්‍රී ලංකාවේ ගුවන් බලයේ උදාව සනිටුහන් කරමින් රාජකීය ලංකා ගුවන් හමුදාව 1951 මාර්තු 02 වන දින පිහිටුවන ලදී. ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වීමත් සමඟ රාජකීය ලංකා ගුවන් හමුදාව 1972 මාර්තු 02 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදාව ලෙස නම් කරන ලදී. "සුරකිමු ලකඹර" යන ආදර්ශ පාඨය අනුව යමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව පසුගිය වසර 72 තුළ රට වෙනුවෙන් අති විශාල මෙහෙවරක් ඉටු කර ඇත.

දිවයිනේ ගුවන් කළාපය නිරන්තරයෙන් ආරක්ෂා කරමින් හදිසි අවස්ථා වලදී ජනතාවට ක්‍රියාකාරීව සහාය වීමට ඔවුන් නිරන්තරයෙන් සැදී පැහැදී සිටි. කොවිඩ් - 19 වසංගතය සහ බොහෝ ස්වාභාවික විපත් අතරතුර ඔවුන්ගේ කාර්යභාරය ජනතාවගේ හදවත්වලට සමීප කර ඇති අතර, ව්‍යසන කාලවලදී අත්‍යවශ්‍ය සහන සේවා සැපයීම, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහ ජාතික එන්නත්කරණ ව්‍යාපාරයට සහාය වීම වැනි ක්‍රියා ඔවුන් සිදුකර ඇත.

ශ්‍රී ලංකාව සුවිශේෂී ආර්ථික කලාපයක පිහිටා ඇති බැවින් ශ්‍රී ලංකාවට අයත් කලාපය තුළ සෙවීමේ සහ මුදවාගැනීමේ මෙහෙයුම් සිදු කිරීම, නීතිවිරෝධී සංක්‍රමණ වැළැක්වීම, නියාමනය නොකළ සහ නීති විරෝධී ධීවර කටයුතු, සමුද්‍ර යාත්‍රාවල ගිනි නිවීම, සමුද්‍ර දූෂණ අධීක්‍ෂණය සහ පාලනය කිරීම වැනි ක්‍රියා සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිය හැකියාවන් සාර්ථකව යොදවා ඇත.

නවීන තාක්‍ෂණික දියුණුව භාවිතා කරමින් තම වෘත්තීය නිපුණතාවය දියුණු තියුණු කරගනිමින් අභිමානවත් ජාතිය ගොඩනැගීමේ ව්‍යාපෘති සඳහා තම උපරිම දායකත්වය දක්වමින් සිටි. කණුගහවැව ආදර්ශ ගම්මානය ජනතා අයිතියට පත් කිරීම, කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, වී අස්වනු නෙලීම් වැනි ව්‍යපෘති ක්‍රියාත්මක කරමින් ජාතිය ගොඩනැගීමේ ප්‍රයත්නය සඳහා ගුවන් හමුදාවේ සුවිශේෂී දායකත්වය ප්‍රදර්ශනය කර ඇත.

වසර 2030 වන විට වන වන ගහනය 27% සිට 32% දක්වා වැඩි කරමින් රටේ තිරසාර සංවර්ධන ඉලක්ක කරා ළඟා වීමට රජය ගෙන යන වන වගා ප්‍රයත්නයට දායක වීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිදු කරන බීජ බෝම්බ හෙලීමේ මෙහෙයුම් ගුවන් හමුදාවේ තවත් සාර්ථක ව්‍යාපෘතියක් ලෙස පෙන්වා දිය හැක.

ගුවන් හමුදාව රටේ අභිවෘද්ධිය සඳහා බොහෝ පර්යේෂණ සහ සංවර්ධන ව්‍යාපෘති සිදු කරමින් සිටි. මිනිසුන් රහිත ගුවන් යානයක් වන ලිහිණියා MK-1E නිපදවා ඇති අතර එය වඩා වැඩි දුරක් පියාසර කරමින් එම ගුවන් යානා නිෂ්පාදනයේ වැදගත් සන්ධිස්ථානයක් සපුරා ඇත. තවද කටුනායක ගුවන් හමුදා ඉංජිනේරු පක්ෂාංග පරිශ්‍රයේදී ගුවන් යානා අළුත්වැඩියා සහ නඩත්තු කටයුතු සිදු කරමින් විදේශ විනිමය සැලකිය යුතු ප්‍රමාණයක් මෙරටට ඉතිරි කර දීමට ඔවුන් සමත් වී ඇත.

නවීන ලෝකයේ නැඟී එන තාක්ෂණික දියුණුව අනුගමනය කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව තම තාක්ෂණික හැකියාවන් ඔප්නැංවීමට සහ ගුවනේදී මෙන්ම ගොඩබිමේදී ද සිය දක්ෂතා සහ විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කිරීමට සැමවිටම සූදානමින් සිටී. ගුවන් හමුදාව සිය ගුවන් බලය ඵලදායි ලෙස යෙදවීම තුළින් රටේ ස්වෛරීභාවයට සහ භෞමික අඛණ්ඩතාවයට එල්ලවන ඕනෑම තර්ජනයකට මුහුණ දීමටත් ඉන් ජය ගැනීමටත් සැමවිටම සූදානමින් සිටී.

අනුග්‍රහය - ගුවන් හමුදා මාධ්‍ය ඒකකය