‘Dubai Grand Prix 2023 - 14th Fazza’ ජාත්‍යන්තර පැරා මලල ක්‍රීඩා තරඟාවලියේදී රන් පදක්කමක් දිනා ගැනීමට නාවික හමුදා ක්‍රීඩක බලනැවි එස්එම්ඒඑස්එම් සුබසිංහ සමත් වෙයි.

මාර්තු 04, 2023

2023 පෙබරවාරි මස 26 වන දින සිට මාර්තු මස 01 වන දින දක්වා ඩුබායි හි පැවති ‘Dubai Grand Prix 2023 - 14th Fazza’ ජාත්‍යන්තර පැරා මලල ක්‍රීඩා තරඟාවලියේදී, A 47 කාණ්ඩය යටතේ, මීටර් 400 පිරිමි ධාවන ඉසව්ව සඳහා සහභාගී වූ නාවික හමුදා පැරා ක්‍රීඩක බලනැවි එස්එම්ඒඑස්එම් සුබසිංහ එම ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.

‘Dubai Grand Prix 2023 - 14th Fazza’ ජාත්‍යන්තර පැරා මලල ක්‍රීඩා තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් සිව් දෙනෙකු (04) සහභාගී වූ අතර, ශ්‍රී ලංකා ක්‍රීඩකයින් විසින් රන් පදක්කම් දෙකක් (02) සහ රිදී හා ලෝකඩ පදක්කම් එක (01) බැගින් මව්බිමට දිනා දීමට සමත්විය.

ඒ අනුව, A 47 කාණ්ඩය යටතේ මීටර් 400 ධාවන ඉසව්ව තත්පර 50.89 කින් අවසන් කරමින්, එම ඉසව්වේ රන් පදක්කම මව් බිමට දිනා දීමට මෙලෙස නාවික හමුදා පැරා ක්‍රීඩක බලනැවි එස්එම්ඒඑස්එම් සුබසිංහ සමත් විය. එමෙන්ම, මෙම තරඟාවලියේ මීටර් 100 ධාවන ඉසව්ව තත්පර 11.71 කින් අවසන් කරමින් එම ඉසව්වේ සිව්වන ස්ථානය හිමිකර ගැනීමටද ඔහු සමත් විය.

තවද, 2017 වර්ෂයේ සිට මීටර් 400 පැරා ධාවන ඉසව්වේ ජාතික ශූරතාවය අපරාජිතව බලනැවි එස්එම්ඒඑස්එම් සුබසිංහ විසින් හිමිකරගෙන සිටින අතර, ඔහු 2018 වර්ෂයේ ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවති ආසියානු පැරා මලල ක්‍රීඩා තරඟාවලියේදී, මීටර් 400 පිරිමි ධාවන ඉසව්වෙන් සිව්වන ස්ථානයත්, 2021 වර්ෂයේ ඩුබායි හි පැවති Dubai Grand Prix 2021 පැරා තරඟාවලියේ මීටර් 400 පිරිමි ධාවන ඉසව්වෙන් ‍දෙවන ස්ථානය සහ 2022 වර්ෂයේ ඉන්දියාවේ පැවති Indian Open Championship පැරා තරඟාවලියෙන් දෙවන ස්ථානයත් හිමි කර ගත්, නාවික හමුදාවට මෙන්ම මව්බිමටද කීර්තියක් ගෙන දුන් දක්ෂ ක්‍රීඩකයෙකි.

අනුග්‍රහය - www.navy.lk