ත්‍රිවිධ හමුදා සරඹ උපදේශකයින් යුධ හමුදාපතිගේ ප්‍රශංසාවට

මාර්තු 09, 2023

ජාතික ශිෂ්‍යභට බලකායේ පසුගියදා පැවති ජනාධිපති හා බළකා වර්ණ ප්‍රදානෝත්සවයේදී සරඹ උපදේශකවරුන්ගේ  විශිෂ්ට දායකත්වය අගයමින් ත්‍රිවිධ හමුදාවේ කොමිෂන් නොලත් නිලධාරීන් පිරිසක් වෙත යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් ඇගයීම් සහතික ප්‍රදානය කිරීම ඊයේ (මාර්තු 08) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී සිදුකරන ලදි.

සහතිකපත් ලාභීන් අතර යුද, නාවික සහ ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් 15 දෙනෙකු සහ නිකැළැල් සේවා කාලයක් පවත්වාගෙන යන 22 වන පාබල සේනාංකයේ යුද හමුදා රියැදුරෙකු ද සිටින බව යුද හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.

විධායක ජෙනරල් මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ, ජාතික ශිෂ්‍යභට බලකායේ අධ්‍යක්‍ෂක බ්‍රිගේඩියර් සුදන්ත ෆොන්සේකා, පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂක මණ්ඩලයේ අධ්‍යක්‍ෂක බ්‍රිගේඩියර් උපුල් කොඩිතුවක්කු ද මෙම අවස්ථාවට සහභාගී විය.