මුලතිව් සහ යාපනයේ පවුල් දෙකකට හමුදාව විසින් නිවාස ඉදිකරේ

මාර්තු 11, 2023

ශ්‍රී ලංකා යුද හමුදාවේ භට පිරිස් විසින් යාපනය සහ මුලතිව්හි පවුල් දෙකකට ඔවුන්ගේ නිවාස සිහිනය සැබෑ කරමින් තැනූ නව නිවාස දෙකක යතුරු නිවැසියන්ට ලබාදීමේ උත්සව පසුගියදා පවත්වනු ලැබිණි.

මුට්ටියන්කට්ටුකුලම් ප්‍රදේශයේ පදිංචි ජේ. ඇන්ටනිදාස් මහත්මියගේ පවුලට මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානයේ 64 වන පාබල සේනාංකය යටතේ ඇති 643 පාබල බලසේනාවේ භට පිරිස් විසින් නව නිවසක් ඉදිකර දී ඇති බව යුද හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.

8 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් සිය තාක්‍ෂණික හා ඉංජිනේරු දැනුම සහ ශ්‍රම දායකත්වය ලබාදුන් අතර අමුද්‍රව්‍ය සඳහා වියදම් සඳහා අනුග්‍රාහකත්වය 643 පාබල බලසේනාධිපත් කර්නල් චන්දන වික්‍රමනායක ගේ පුද්ගලික මැදිහත්වීම සහ එතුමන්ගේ මිතුරන් විසින් ලබාදුන් බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි.

මේ අතර, යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 51 වන පාබල සේනාංකයට අයත් 511 වන පාබල බලසේනාවේ තාක්ෂණික සහ ඉංජිනේරු විශේෂඥතාවයෙන් සහ 9 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් යාපනය දිස්ත්‍රික්කයේ කීරමලේ ප්‍රදේශයේ වෙසෙන ආරුමුගම් චන්ද්‍ර සේකරම් මහතාගේ නිවස ප්‍රතිසංස්කරණය කල බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශ කළේය.

දානපති විශ් නඩරාජ් මහතා මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මුල්‍ය අනුග්‍රාහකත්වය ලබා දී ඇති බව මාධ්‍ය තවදුරටත් වාර්තා තහවුරු කළේය.