වඩමාරච්චි සිසුන් සහ ගම්වාසීන් සඳහා යුද හමුදාවෙන් ජල පිරිපහදු යන්ත්‍රයක්

මාර්තු 13, 2023

ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් අලියාවලෙයි ලංකා පල්ලිය දෙමළ මිශ්‍ර විද්‍යාලයේ සිසුන්ට සහ වඩමාරච්චි නැඟෙනහිර ගම්වාසීන්ට පිරිසිදු පානීය ජලය සැපයීම සඳහා ජල පිරිපහදු යන්ත්‍රයක් පසුගියදා ස්ථාපනය කරන ලදී.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ලාංකික ප්‍රජාවගේ මූල්‍ය අනුග්‍රහය ඇතිව, 55 වන පාබල සේනාංකයේ 553 පාබල බලසේනාවේ යටතේ ඇති 12 (සේව්) විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස්වල තාක්ෂණික දැනුමින් හා ශ්‍රම දායකත්වයෙන් මෙම ජල පිරිපහදු ව්‍යාපෘතිය ස්ථාපිත කර ඇති බව යුධ හමුදාව ආරංචි මාර්ග පැවසීය.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට විසින් ප්‍රදේශයේ සිසු සහ ප්‍රජාවගේ අවශ්‍යතා සැලකිල්ලට ගෙන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ශ්‍රී ලාංකික ප්‍රජාව වෙතින් කල ඉල්ලීම මත මෙම ව්‍යාපෘතිය යථාර්ථයක් බවට පත් කිරීමට හැකි වූ බව යුධ හමුදා ආරංචි මාර්ග තහවුරු කළේය.

55 වන පාබල සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න ගුණරත්න, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලාංකික ප්‍රජාව නියෝජනය කරමින් ජෝර්ජ් හෙට්ටිආරච්චි මහතා හා රාජ්‍ය නිලධාරීන් සහ භට පිරිස් ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාවට එක්ව සිටියහ.