ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක සහ නාවික හමුදා නිලධාරීන් සඳහා ප්‍රති නැව්
පැහැර ගැනීමේ මෙහෙයුම් උපදේශක පාඨමාලාවක්

මාර්තු 13, 2023

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) සමඟ එක්ව ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් පවත්වන ‘ප්‍රති නැව් පැහැර ගැනීමේ මෙහෙයුම් පිළිබද උපදේශක’ පාඨමාලාව සාර්ථකව හදාරන ලද නිලධාරීන් හට සහතික පත් ප්‍රදානය කිරීම පසුගියදා (මාර්තු 10) සිදු කෙරිණි.

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලයේ ගෝලීය සමුද්‍ර අපරාධ වැඩසටහන යටතේ පසුගිය මස (පෙබරවාරි 20) ආරම්භ වූ මෙම පාඨමාලාව සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙක් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන් දෙදෙනෙක් සහභාගි වූහ. උපදේශක ගුණාංග, ඇගයීම් ක්‍රියා පටිපාටි හා ‘ප්‍රති නැව් පැහැර ගැනීමේ මෙහෙයුම්’ පිළබදව ප්‍රායෝගික පුහුණුව වැනි මාතෘකා මෙම පාඨමාලාවේ දී ආවරණය කරන ලදී. පාඨමාලාවේ ප්‍රායෝගික අභ්‍යාස හම්බන්තොට ජාත්‍යන්තර වරාය ආසන්නයේ පැවැත්වුණු බව ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තු මාධ්‍ය මූලාශ්‍ර සදහන් කරයි.

කිරින්ද හි පිහිටි ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ උසස් පුහුණු මධ්‍යස්ථානයේ පැවති සමාප්ති උත්සවයේදී ස්ටුවර්ට් මෙල්විල්(Stuar tMelville) ප්‍රධාන උපදේශක -ඉන්දීය සාගර කලාපීය ශ්‍රී ලංකා කණ්ඩායමේ (ගෝලීය සමුද්‍ර අපරාධ වැඩසටහන - එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය ) සහ ඉන්දීය නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් මිහිර් ගුර්ජන් විසින් සහතික පත්‍ර ප්‍රදානය කරන ලදී.