යුද හමුදා වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනට පේදුරුතුඩුව ප්‍රජාව එක්වේ

මාර්තු 21, 2023

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ සේවයේ නියුතු යුද හමුදා භට පිරිස් විසින් පසුගියදා මුනායි, පේදුරුතුඩුව, සුපර්මඩම් සහ සක්කොටෙයි වෙරළ ප්‍රදේශයන් පිරිසිදු කිරීමේ වැඩසටහනක් දියත් කරන ලදී.

551 වන පාබල බලසේනාව යටතේ ස්ථාපිත 4 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 16 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් සහ සිවිල් වැසියන් 500 කට වැඩි පිරිසක් මෙම ප්‍රජා ව්‍යාපෘතියේ ක්‍රියාකාරීව නිරත වූහ.

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිසිය, පේදුරුතුඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, නගර සභාව, වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව ද යුද හමුදා වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන සමග අත්වැල් බැඳගත් බව ශ්‍රී ලංකා යුද හමුදා ආරංචි මාර්ග සඳහන් කරයි.