රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා යුධ හමුදා සාමාජිකයින්ගේ සේවය අගය කරයි

මාර්තු 21, 2023

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා අද (මාර්තු 21) දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි යුධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඉටු කරනු ලබන සේවාවන් ඇගයීමට ලක් කරන ලදි.

ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මැතිතුමාද සමගින් හමුදා මූලස්ථානයට පැමිණි ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ යුද හමුදා මූලස්ථානයේ දී අද දින සිදුකළ සිය පලමු සංචාරයේදීය.

යුධ හමුදා මූලස්ථාන පරිශ‍්‍රයට පැමිණි රාජ්‍ය අමාත්‍යවරයා යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් උණුසුම් ලෙස පිළිගත් අතර, එහිදී අමාත්‍යවරයා විසින් යුධ හමුදා මූලස්ථානයෙහි සේවයේ නියුතු හමුදා සාමාජිකයින් සමඟ සුහද කථා බහකද නිරත විය.

මෙම සුවිශේෂී අවස්ථාව සනිටුහන් කරමින් යුද හමුදාපතිවරයා විසින් රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් මැතිතුමා සහ සාගල රත්නායක මැතිතුමා වෙත සමරු තිළිණ ප්‍රදානය කරන ලදි.

යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ භට පිරිස් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.