මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායීතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) උපදේශක කණ්ඩායමක් දිවයිනට

මාර්තු 23, 2023

මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) උපදේශක කණ්ඩායම අඟහරුවාදා (21) දින ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ හමුවිය. දිවයිනට පැමිණි එක්සත් ජාතීන්ගේ උසස් ඇගයීම් සහ උපදේශක කණ්ඩායමේ සාමාජිකයන් සාමසාධක රාජකාරීන් සඳහා දිවයිනෙන් පිටත්වීමට නියමිත ‘ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංග්‍රාමික රථ ආරක්‍ෂක භඨ ඛණ්ඩය බී - 1’ සාමසාධක මෙහෙයුම් සඳහා ඇති සූදානම නිරීක්‍ෂණ කරමින් සියලුම සංග්‍රාමික ප්‍රවාහන උපකරණවල (CCE) තාක්‍ෂණික ගුණාත්මකභාවය සහ ප්‍රමිතීන් පිළිබද සොයාබැලීමට නියමිතව ඇත.

දිවයිනට පැමිණි එක්සත් ජාතීන්ගේ නියෝජිත කණ්ඩායමට ජේම්ස් වික්ටර් ඩි. රොකෝල් මහතා (Mr. James Victor De Rcole), කර්නල් ලෝරන්ස් කපිනා (Colonel Lawrence Kapina), ලුතිනන් කර්නල් රජීව් (Lieutenant Colonel Rajeev), මාර්ක් ෆ්ලඩ් මහතා (Mr.Mark Flood) සහ සත්වින්දර් සිං පෝල් මහතා (Mr.Satvinder Singh Paul) යන නියෝජිතයින් ඇතුළත් වන අතර, එහිදී ඔවුන් 1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායෙහි ඉංජිනේරු අංශය, ඇඹිලිපිටිය යුද්ධ හමුදා ඉංජිනේරු පාසල, උඩවලව ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු මූලික වැඩපළ සහ ශ්‍රී ලංකා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනය යන ස්ථානවල මාර්තු මස 20-25 යන දිනයන්හිදී නිරීක්‍ෂණ සංචාරයක නිරත වේ. එහිදී, යුද්ධ හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද යුද උපකරණ, සංග්‍රාමික වාහන සහ උපාංග, බිම් බෝම්බ ඉවත් කිරීමේ උපකරණ, පුපුරණ ද්‍රව්‍ය නිශ්ක්‍රීය කිරීමේ උපකරණ, සැපයුම් සහ වෛද්‍ය උපකරණ, බැරැක්ක භාණ්ඩ පරීක්‍ෂා කිරීමට නියමිතව ඇත.

එක්සත් ජාතීන්ගේ සාමසාධක දූත මණ්ඩල රාජකාරී සඳහා පළමු වරට යුද්ධ හමුදා භටපිරිස් යෙදවීමට පෙරද එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙවැනි යෝග්‍යතා පිරික්සුම් වැඩසටහනක් පවත්වන ලදී. එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ (UNDPKO) නියමකර ඇති පරිදි දූත මණ්ඩල අවශ්‍යතා සපුරාලීම සඳහා යුද්ධ හමුදාවේ යෝග්‍යතාවය පරීක්‍ෂා කිරීම සහ එහි යෝග්‍යතා කොන්දේසි සපුරා තිබේද යන්න පරීක්‍ෂා කිරීම මෙහි අරමුණයි.

සාමසාධක රාජකාරීන් සඳහා දිවයිනෙන් පිටත්වීමට නියමිත ‘යුද්ධ හමුදා සංග්‍රාමික රථ ආරක්‍ෂක භඨ ඛණ්ඩය බී - 1’ සඳහා (Combat Convoy Company B- 1) නිලධාරින් 20 දෙනෙකු සහ සෙසුනිලයන් 223 දෙනෙකු ඇතුළත් වන අතර, එමගින් මෙරට ජාතික ආර්ථිකයට වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 9 ක් එකතු කිරීමට අපේක්‍ෂා කරයි. මේ වනවිට 4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංග්‍රාමික රථ ආරක්‍ෂක භඨ කණ්ඩායම (CCC) යටතේ නිලධාරින් 20 ක් සහ සෙසුනිලයන් 223 දෙනෙක් මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) රාජකාරි කරනු ලබයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මාලි රාජ්‍යයේ සාම සාධක රාජකාරී සඳහා අතිරේක සංග්‍රාමික රථ ආරක්‍ෂක භඨ කණ්ඩායමක අවශ්‍යතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට යොමුකිරීම ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සාමසාධක රාජකාරිවලදී ඇතිකරගත් අනන්‍යතාවය සහ වෘත්තීමයභාවය අගය කිරීමක් ලෙසද හැඳින්විය හැක.

සාමසාධක රාජකාරීන් සඳහා දිවයිනෙන් පිටත්වීමට නියමිත මෙම අතිරේක ‘ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංග්‍රාමික ආරක්‍ෂක භඨ ඛණ්ඩය බී - 1 ට මාලි රාජ්‍යයෙන් සිදුකරන දැනුම්දීමකින් මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරිමේ මෙහෙයුම් මූලස්ථානය වෙත යැවීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සූදානම පිළිබඳව යුද්ධ හමුදාධිපතිතුමන්, එම සාකච්ඡාවේදී එක්සත් ජාතීන්ගේ නියෝජිතයින් දැනුවත් කළේය.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති මෙම හමුව අවසානයේ දී එක්සත් ජාතීන්ගේ නියෝජිතයින් වෙත විශේෂ සමරු තිළිණ ප්‍රදානය කරන ලදී.

2023 මාර්තු මස 25 දින දිවයිනෙන් පිටත්ව යාමට පෙර මෙම දූත පිරිස ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සිදුකරනු ලබන සංචාර තුළදී මාලි රාජ්‍ය වෙත පිටත් කර යැවීමට සූදානම් කර ඇති උපකරණ සහ ඒවායේ ක්‍රියාකාරීත්වය පිළිබඳ සවිස්තරාත්මක විස්තර වාර්ථාවක් අදාළ නිලධාරින් වෙතින් ලබාගැනීමට ද නියමිතව ඇත.

දිගුකාලීන ස්ථාවරත්වය සහ සාමය ස්ථාපිත කිරීම කෙරෙහි අවධානය යොමු කරමින්, එක්සත් ජාතීන්ගේ බහුවිධ සාමසාධක මෙහෙයුම් මධ්‍යස්ථානය මධ්‍යම අප්‍රිකානු ජනරජය, කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, මාලි සහ දකුණු සුඩානය වැනි රටවල සිවිල් වැසියන් ආරක්‍ෂා කිරීම සඳහා ප්‍රමුඛත්වය ලබා දී ඇත.

කිඩාල්, ඇග්ලෝහොක් සහ ටෙසාලිට් යන කලාපවල පිහිටා ඇති මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරිමේ මෙහෙයුම් මූලස්ථාන (MINUSMA) කඳවුරුවල සංග්‍රාමික ආරක්‍ෂක රථ මෙහෙයුම් සිදුකරන එකම කණ්ඩායම ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංග්‍රාමික රථ ආරක්‍ෂක භඨ ඛණ්ඩය විශිෂ්ඨ කැපවීමකින් සහ මනා වෘත්තීයභාවයෙන් යුතුව තම රාජකාරිය ඉටු කරමින් ජීවිත අවධානම් මධ්‍යයේ වුවද භඨකාර්ය සම්පාදන ප්‍රවාහන රථ සඳහා ආරක්‍ෂාව සැපයීමේ කටයුතුවල නිරතව සිටී.

අනුග්‍රහය - www.army.lk