බිම් බෝම්බ ඉවත් කිරීමේ යුද්ධ හමුදා පළමු කාන්තා කණ්ඩායමට
නිල ලාංඡන පළඳවයි

මාර්තු 23, 2023

ශ්‍රී ලංකා යුද හමුදාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ ප්‍රථම කාන්තා කණ්ඩායම ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, යුද හමුදා මූලස්ථානයේ දී පැවති උත්සවයේ දී සිය නිල ලාංඡන ලබා ගන්නා ලදී.

යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් ඊයේ (මාර්තු 22) පැවති උත්සවයේදී ජාත්‍යන්තරව පිළිගත් මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ පාඨමාලාව සාර්ථකව නිම කළ මෙම කාන්තා සෙබලියන් හට නිල ලාංඡන පැලඳවූ බව යුද හමුදා ආරංචි මාර්ග පවසයි.

කාන්තා නිලධාරිනියන් තිදෙනෙකු සහ සෙසු නිලයින් 51 දෙනෙකු ඇතුළත් බිම්බෝම්බ ඉවත් කිරීමේ පළමු කාන්තා කණ්ඩායම 2021 දෙසැම්බර් මාසයේදී බූඔය ඉංජිනේරු බලසේනා මූලස්ථානයේදී සහ යාපනය, මයිලඩි ප්‍රදේශයේ පිහිටි 10 වන ක්ෂේත්‍ර ඉංජිනේරු මූලස්ථානයේදී කණ්ඩායම් දෙකක් ලෙස බිම්බෝම්බ ඉවත් කිරීමේ පාඨමාලාවට සහභාගී විය.

බිම්බෝම්බ ඉවත් කිරීමේ පාඨමාලාවෙන් පසු කාන්තා නිලධාරිනියන් තිදෙනා සහ සෙසු නිලයින් 51 දෙනා එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා සහභාගීවීමට අවශ්‍ය බිම්බෝම්බ ඉවත් කිරීමේ පළපුරුද්ද සහ දැනුම වැඩි දියුණු කර ගැනීමේ අරමුණින් මේ වන විට යාපනයේ මයිලඩි ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කිරීමේ රාජකාරි කරමින් සිටිති.

ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායක සහ මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් යූ.ඩී විජේසේකර, ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු සහ කර්නල් සේනාවිධායක, ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් එම්.කේ ජයවර්ධන සහ ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී අමරපාල යන නිලධාරින්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.