සිවිල් ආරක්‍ෂක ‌‌දෙපාර්තමේන්තු සාමාජිකයින්ගේ සේවය ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමන්ගේ සහ ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකගේ ඉහල ඇගයීමට

මාර්තු 24, 2023

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඉටු කරන ලද සේවාවන් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා විසින් අද (මාර්තු 24) මොරටුව කටුබැද්දේ පිහිටි සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු මූලස්ථානයේ දී ඉතා ඉහල ඇගයීමට ලක් කරන ලදි.

රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් මැතිතුමා සමඟ ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ද සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු මූලස්ථානයේ සිදුකළ සංචාරයට එක් විය.
 
සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අප මාතෘ භූමියට ඉටුකරන ලද සේවාවන් ඉහළ පෙළේ ආරක්‍ෂක නිලධාරීන් දෙදෙනාම ඔවුන්ගේ සිය සංචාරයේදී බෙහෙවින් අගය කළහ.
 
සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ‍ ජෙනරාල් මේජර් ජෙනරල් රංජන් ළමාහේවගේ (විශ්‍රාමික) විසින් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යතුමන් සහ ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා මෙම මූලස්ථාන පරිශ්‍රයට පැමිණි අවස්ථාවේදී ඉතා උණුසුම් ලෙස පිළිගත් අතර ඉන් අනතුරුව එහි සේවය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සාමාජිකයින් සමඟ ද සුහද සාකච්ඡාවක නිරත වූහ.

සුහද කතාබහෙන් අනතුරුව මේජර් ජෙනරල් ළමාහේවා විසින් රාජ්‍ය අමාත්‍යවරයා සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි වෙත මෙම සංචාරය සංකේතවත් කරමින් සමරු තිළිණ ප්‍රදානය කරන ලදි.

සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සාමාජිකයින් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.