‘සරඹ උපදේශන සංස්කරණ පාඨමාලාව’ සාර්ථකව අවසන්

අප්‍රේල් 04, 2023

එක්සත් රාජධානියේ ‘School of Ceremonial’ පුහුණු පාසලේ වෘත්තීය සරඹ උපදේශකවරුන් කණ්ඩායමකගේ සහයෝගය ඇතිව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේදී මාර්තු මස 20 සිට 30 දින දක්වා පැවති ‘සරඹ උපදේශන සංස්කරණ පාඨමාලාව’ සාර්ථකව අවසන් විය. මෙම පාඨමාලාව සඳහා ත්‍රිවිධ හමුදා සරඹ උපදේශකවරුන් 48 දෙනෙකු සහභාගී වූහ.

යුද්ධ හමුදා සරඹ උපදේශකවරුන් 24 දෙනෙක්, නාවික හමුදා සරඹ උපදේශකවරුන් 12 දෙනෙක් සහ ගුවන් හමුදා සරඹ උපදේශකවරුන් 12 දෙනෙක් ඇතුළු සරඹ උපදේශකවරුන් 48 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මෙම පාඨමාලාවේ සමාරම්භක දේශනය එම විද්‍යාපීඨයේ චීන - ලංකා මිත්‍රත්ව ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එක්සත් රාජධානියේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින ආරක්‍ෂක උපදේශක කර්නල් පෝල් ක්ලේටන් (Colonel Paul Clayton) ගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කරනු ලැබූ මෙම පාඨමාලාව ත්‍රිවිධ හමුදා සරඹ ආශ්‍රිත දැනුම යාවත්කාලීන කිරීමේ අරමුණින් ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සහයෝගය මත ක්‍රියාත්මක කරනු ලැබිණි.

උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් පාඨමාලාව සඳහා සහභාගී වූ සියලුම ත්‍රිවිධ හමුදා සාමාජිකයන් වෙත සහතිකපත් ප්‍රදානය කෙරිණි. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධි අමුත්තා ලෙස සහභාගී වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක මේජර් ජෙනරල් බුද්ධික පෙරේරා විසින් සමාප්ති දේශනය පැවැත්වීමෙන් අනතුරුව පාඨමාලාවේ සාර්ථකත්වය වෙනුවෙන් කැපවූ එක්සත් රාජධානියේ සරඹ උපදේශකවරුන්ගේ කැපවීම ඇගයීමට ලක් කරමින් ඔවුන් වෙත ඇගයීම් සංකේත ප්‍රදානය කරනු ලැබිණි.

පාඨමාලාවේ විශිෂ්ඨ සරඹ දක්‍ෂතා දැක්වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සැරයන් ආර්.ජී.එස්.සී.ආර්.කේ. රස්නෙක්ගෙදර, ශ්‍රී ලංකා නාවික හමුදාවේ නායක නැවි ජී.එස්. ඉලංගතිලක සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සැරයන් පී.එච්.ඩී. මධුසංක වෙත පියවර කෝදු පිරිනමනු ලැබීය.

අනුග්‍රහය - www.army.lk